පාසල් සිසුවෙකුට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකිරීම සම්බන්ධව වරදකරුවෙක් වූ චීවරධාරියෙක් වෙත මහනුවර මහාධිකරණ විනිසුරු ආර් එස් එස් සපුවිද අද (29) බරපතළ වැඩ සහිත වසර 17 ක සිරදඬුවමක් නියම කළේය.
මෙලෙස දඬුවම් නියම වූයේ කැලණිය ශීලදස්සි ලෙස පැවිදි කල පෙනී සිටි නොහොත් දේවගේ හෂාන් හේමරත්න නැමැති අයට ය.
වසර දාසයක් නොඉක්ම වූ පාසල් සිසුවකුට බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කිරීම චීවරධාරියාට එල්ල වී තිබූ චෝදනාව ය.
වසර 2016 දෙසැම්බර් මස 1සහ 31 අතර කාලයේදී පන්විලතැන්න ප්‍රදේශයේ දී අදාළ විත්තිකරු විසින් ලිංගික තෘප්තියක් ලබා ගැනීමේ අදහසින් වයස අවුරුදු දාසය නොඉක්ම වූ පාසල් සිසුවෙකුට බරපතල ලිංගික අපයෝජනයක් සිදු කිරීම යන්න චෝදනා දෙකක් යටතේ ගොනුකර නඩු විභාගය පැවැත්වීමට කටයුතු කොට තිබිණි.
විභාග වූ නඩුව ට අදාළව පළමු වරදට බරපතළ වැඩ සහිත වසර 7ක සිර දඬුවමක් ද ඊට අමතරව රුපියල් දස දහසක දඩයක්ද මහාධිකරණ විනිසුරුවරයා නියම කළේය. අදාළ මුදල නොගෙවන්නේ නම් ලිහිල් වැඩ සහිත තවත් මාස හයක සිරදඬුවමක් නියම වන බවද විනිසුරු දැනුම් දුන්නේය
දෙවන වරදට බරපතළ වැඩ සහිත වසර 10ක සිර දඬුවමක් නියම කළ මහාධිකරණ විනිසුරු සපුවිද ඊට අමතරව රුපියල් 15,000 ක දඩයක් පනවමින් එය නොගෙවන්නේ නම් ලිහිල් වැඩ සහිත තවත් මාස හයක සිරදඬුවමක් නියම කළේය
පළමු හා දෙවන චෝදනා සම්බන්ධයෙන් නියම වූ වසර 7 සහ 10 ක බරපතළ සිර දඬුවම එකවර ගෙවී යන ලෙස ලබාදුන් මහාධිකරණ විනිසුරු අපයෝජනයට ලක් වූ දරුවාට රුපියල් දෙලක්ෂ පනස් දහසක මුදලක් ගෙවන ලෙස ද චූදිතට නියම කළේය.
එම මුදල නොගෙවන්නේ නම් ලිහිල් වැඩ සහිත වසරක සිරදඬුවමක් නියම වන බවද විනිසුරුවරයා දැනුම් දුන්නේය