අනුරාධපුර – පර්සි කුරුනේරු
“අවුරා ලංකා සමාගම් සමූහයේ සභාපති නන්දික විරංජිත් තාඹුගල කියන්නෙ මගේ මාමා… උඹල එකතුවෙල මගේ මාමා රාජාංගනය යාය 18 සංවිධානය කළ සංගීත සැණකෙළියට විරුද්ධව මාධ්‍ය හමු තිබ්බා… ඒක කඩාකප්පල් කළේ උඹල. බලා ගනින් තොට පාතාලෙ දම්මල එක බුලට් එකයි වියදම් කරන්නෙ.” යැයි පවසමින් එක්සත් ජාතික පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් තරුණ සංවිධානයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකු තමාට තර්ජනය කළ බව ලංකා ගුරු සංගමයේ සභාපති එස්. ප්‍රියන්ත ප්‍රනාන්දු අද දවල් (07) අනුරාධපුර පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
ඊයේ (06) රාත්‍රී 7.15 ට පමණ තම නිවසට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට අනුරාධපුර සති පොළට ගොස් සිටි අවස්ථාවේ එම පුද්ගලයා තමන්ට එලෙස මරණීය තර්ජනය කළ බව ඔහු සිය පැමිල්ලෙන් කියා සිටී.
“අවුරා ලංකා සමාගමේ සභාපති නන්දික විරංජිත් තාඹුගල නැමැත්තා තමන්ගේ මාමා බව කියමින් මට තර්ජනය කළා. මුලදි මට තර්ජනය කළ පුද්ගලයා සහ මා අතර පොඩි කතා බහක් ඇති වුණා. මම ඒ අවස්ථාවේ ගහ ගන්න බැන ගන්න ගියෙ නෑ. “යැයිද ප්‍රියන්ත ප්‍රනාන්දු කීවේය .
“මට තර්ජනය කළ පුද්ගලයා මට බැන වදිමින් ‘උඹල තමයි සංගීත පවත්වනවට විරුද්ධව කතා කළේ .ඔය මහ ලොකුවට කයිවාරු ගහන උන්ව මට්ටු කරන්න අපි ළග බඩු තියෙනවා .හැබැයි පාතාලෙ ඉදිරියේ කයිවාරු කාරයෝ හැමෝම දන ගහනව’ .කියමින් ඔහු මට පහරදීමට තැත් කළා’’
“එවිට ඔහු සතුව අවියක්වත් ඇතැයි සැක සිතා මම ඒ අවස්ථාවේ පසු බැස ඉවත්ව ගියා. “ යැයිද හෙතෙම කීවේය .
තර්ජනය කළ පුද්ගලයා අනුරාධපුර උලුක්කුලම ප්‍රදේශයේ පදිංචිව සිටින පුද්ගලයකු බව පසුව අනාවරණය වූ බවත් ප්‍රියන්ත ප්‍රනාන්දු සිය පැමිණිල්ලේ සඳහන් කොට ඇත.
අනුරාධපුර පොලීසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වයි.