කීර්ති ප්‍රනාන්දු – මිනුවන්ගොඩ –
ගම්පහ දිස්ත්‍රික්කයෙහි පමණක් කොවිඩ් ආසාදිත පුද්ගලයන් 200ක් පමණ රෝහලක් හෝ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කරගැනීමට නොහැකිව නිවාස තුළ සිටින බව ප්‍රාදේශ සෞඛ්‍ය අංශ හෙළිදරවු කරයි.
දැනට ගම්පහ පවත්වාගෙන යන වතුපිටිවල, දොම්පේ, වරකාපොල, යක්කල, හා රජයේ අධ්‍යාපන විද්‍යාපීඨවල වූ ප්‍රධාන කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන පිරී ඇති බවත්, කොවිඩ් ආසාදිතයෙක් වෙනුවෙන් ඇඳක් වෙන් කරගැනීම බරපතල ප්‍රශ්නයක් බවට පත්ව ඇති බවත් ඒ ආරංචි මාර්ග හෙළි කරයි.
එමෙන්ම මේ වනවිට පී.සී.ආර්. පරීක්ෂණ කිරීම අඩු වී ඇති අයුරු ඔවුන් පෙන්වා දෙයි. කරන පී.සී.ආර් පරීක්ෂණවලින් තුනෙන් එකකින් කොවිඩ් ආසාදිතයන් හමුවීමේ ප්‍රවණතාවයක් දැන් උද්ගතව ඇති නිසා ගැටලුව උග්‍ර වී ඇතැයි ඔවුහු පෙන්වා දෙති.
එහෙත් මේ පිළිබඳව ගම්පහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයෙන් කළ විමසීමක දී මේ තොරතුරු ප්‍රතික්ෂේප කළ අතර පී.සී.ආර්. පරීක්ෂණ අඛණ්ඩව පවත්වාගෙන යන බව පැවසුවේය.
එහෙත් දිවුලපිටිය, කටාන, ගම්පහ, අත්තනගල්ල, සීදුව දොම්පෙ ඇතුළු ප්‍රාදේශීය සෞඛ්‍ය අංශවලින් ලංකාසර කළ විමසීමකදී ඔවුන් තහවුරු කළේ දැනට පී.සී.ආර් පරීක්ෂණ කිරීම තාවකාලිකව නවත්වා ඇති බවය.