හත් කෝටි පනස් ලක්ෂයකට වඩා වටිනා රත්තරන් කිලෝ 3.5ක් නීති විරෝධී ලෙස රට තුළට ඇතුළු කිරීමට තැත්කළ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් අද (23) උදේ රේගු අත‍්අඩංගුවට පත් වී තිබේ.
අද උදේ 9.45ට ඩුබායිහි සිට පැමිණි FZ 547 දරන ගුවන් යානයෙන් කටුනායකට පැමිණි අලි සබ්‍රි රහීම්ගේ රන් ජාවාරම සම්බන්ධව රේගු නිලධාරීන්ට තොරතුරු ලැබී ඇතැයි වාර්තා වේ. ඒ තොරතුරු ප්‍රකාරව අදාල පරීක්ෂා කිරීම් කර රේගුව විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ ප්‍රභූ වරප්‍රසාද භාවිතාකර නීති විරෝධීව මෙම රත්තරන් තොගය රට තුළට රැගෙන ඒම සඳහා ප්‍රභූ පර්යන්තය භාවිතා කිරීමට උත්සාහ කරද්දීය.
මේ වනවිටත් මන්ත්‍රීවරයාගෙන් කට උත්තර සටහන් කරගනිමින් සිටින බව අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි. මේ වනවිට වැඩි දුර පරීක්ෂණ සඳහා කොළඹින් විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් කටුනායක වෙත පැමිණ ඇතැයි දැනගන්නට ඇත.
අලි සබ්රි රහීම් සමස්ත ලංකා මක්කල් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.
විශේෂත්වය වන්නේ වෙනත් ඕනෑම අවස්ථාවක මාධ්‍ය අමතමින් ප්‍රකාශ ලබා දෙන රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා මේ අවස්ථාවේ දී දුරකථනයට එන ඇමතුම්වලට පිළිතුරු ලබා නොදීමය.
කෙසේ වෙතත් මේ සම්බන්ධව අද (23)පාර්ලිමේන්තුවේ දී සංවාදයට ලක් විය.
නීතිවිරෝධී ලෙස රත්‍රං තොගයක් රැගෙන යාමට තැත්කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් සම්බන්ධයෙන්වන පරීක්ෂණ දේශපාලන මැදිහත්වීමකින් තොරව පැවැත්විය යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පාර්ලිමේන්තුවට පැවසීය.
“මන්ත‍්‍රී රහීම් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අපට කෙටි පණිවිඩයක් ලැබී තිබෙනවා. මන්ත්‍රීවරයාගේ මෙම ක්‍රියාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අගතියක් වන්නේ සාමාජය අප සියලු දෙනාම ජාවාරම්කරුවන් ලෙස සලකන්න හැකි නිසා.එබැවින් අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා පිළිබඳව නිසි පරීක්ෂණයක් පැවැත්වීම වැදගත් “ රාජකරුණා මන්ත්‍රීවරයා පැවසීය.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එම යෝජනාවට එකඟ වෙමින් කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්විය යුතු බවය.