කඩුගන්නාව ප්‍රදේශයේ හෝටලයක පැවැති සාදයකට සහභාගී වී ගැටුමක් ඇති කරගෙන සිවිල් පුද්ගලයන්ගෙන් පහර කෑමට ලක් වූ කඩුගන්නාව පොලිසියට අනුයුක්ත නිලධාරීන් තිදෙනකු එම සාදයට සහභාගී වී ඇත්තේ අනවසරයෙන් බවට අනාවරණය වී ඇති අතර ඔවුන් සම්බන්ධයෙන් විනයානුකූල පියවර ගැනීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග ලංකාසරට අනාවරණය කළේය.
පසුගිය 10 වැනිදා රාත්‍රියේ කඩුගන්නාව පර්ලි රිච් හෝටලයට මෙම නිලධාරීන් ගොස් ඇත්තේ අයහපත් වැඩ සහ හැසිරීම් හේතුවෙන් කඩුගන්නා ව පොලිසියෙන් ස්ථාන මාරු ලබා දී ඇති උප පොලිස් පරීක්ෂකවරයකු සහ පොලිස් කොස්තාපල් වරයකු ට සුබ පැතීම වෙනුවෙන් සංවිධානය වූ සාදයකටය. එම ස්ථානයේ මත්පැන් පානය කර ඇති ඔවුන් එම හෝටලයට පැමිණ සිටි පිළිමතලාව ප්‍රදේශයේ තරුණයන් කණ්ඩායමක් සමඟ ගැටුමක් ඇති කර ගත් අතර එම ගැටුම දුරදිග ගොස් පිළිමතලාව නගරයේ දී ඔවුන් යළි ආරවුලක් ඇති කරගෙන ගුටි බැට ප්‍රහාරයක් දක්වා වර්ධනය වි ඇත. මෙහිදී පොලිස් නිලධාරීන් ප්‍රහාරයට ලක් වූ අතර එම ආරවුල විසඳීමට පැමිණි උප පොලිස් පරීක්ෂකවරයාටද ප්‍රහාරයට ලක්ව ඇත. මෙම නිලදාරීන් රෝහල් ගතව ප්‍රතිකාර ලබා යළි පැමිණි අතර කරන ලද විමර්ශණයේදී ඊට සහභාගී වූ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනකු මෙම සාදයට ගොස් ඇත්තේ අනවසරයෙන් බව අනාවරණය වී ඇත. ඒ අනුව ඔවුන්ට එරෙහිව විනය පියවර ගැනීමට නියමිත බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ලංකාසරට පැවසීය.