තමන් පන්තියෙන් කොන් කිරීම, අපවාද කොට විහිලු කිරීම සහ පීඩාවට ලක් කිරීම හේතුවෙන් පීඩාවට පත් වූ නාරම්මල ප්‍රසිද්ධ කණිටු විද්‍යාලයක සිසුවියක් පන්ති සගයන් 05 දෙනෙකුගේ වතුර බෝතල්වලට වස මිශ්‍ර කර තමන්ගේ වතුර බෝතලයටත් වස මිශ්‍ර කරගෙන පානය කිරීම නිසා එම දරු දැරියන් 06 දෙනාම නාරම්ම්ල මූලික රෝහලට ඇතුළත් කළ පුවතක් වාර්තා වේ.
වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.
නාරම්මල ප්‍රධාන පෙළේ කනිටු විද්‍යාලයක 10 වැනි ශ්‍රේණියේ සිසුන් 05ක් සහ එක් සිසුවියක් වස මිශ්‍රිත ජලය පානය කිරීමෙන් පසු ඊයේ (13) උදේ නාරම්මල මූලික රෝහලට ඇතුළත් කර තිබිණි.
රෝගී වූ සිසු පිරිස ජලය පානය කර ඇත්තේ ඔවුන්ගේ වතුර බෝතල් වලින් නිසාත් මෙම සිසුන් හය දෙනා හැරුණු විට පන්තියේ අනෙක් සිසු පිරිසට කිසිම ගැටලුවක් නොවුන නිසාත් මෙම වස කිසිවෙක් හෝ විසින් මෙම සිසුන්ගේ ජල බෝතල් වෙත මිශ්‍ර කරන්නට ඇතැයි යන සැකය මතු වී ඇත.
පාසලේ සහ රෝහලේ පැමිණිලි මත නාරම්මල පොලිසිය විසින් සිද්ධිය පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර තිබිණි.
එහිදී අනාවරණය වූයේ මෙවැනි කතාවකි.
සඳුදා උදෑසන රැස්වීමට සහභාගී වූ සිසුන් රැස්වීම නිමා කර පන්ති කාමරයට පැමිණ ජලය පානය කරද්දී කිහිප දෙනෙකුගේ ජල බෝතලවල අප්‍රසන්න දුර්ගන්ධයක් සහිත රසක් පැමිණ ඇත. ඔවුන් වතුර එක් උගුරකට වඩා වතුර නොබී වතුරට යම් කිසි දෙයක් මිශ්‍ර වී ඇති බවට පන්ති භාර ගුරුතුමියට පැමිණිලි කර තිබේ.
සිසු පිරිස උදේ රැස්වීමට යද්දී එක් සිසුවියක පමණක් පන්ති කාමරයේ සිට ඇත. ඇය ද මේ අප්‍රසන්න රසය සහ දුර්ගන්ධය සහිත වතුර සහිත ඇයගේ බෝතලයෙන් උගුරු දෙකක් බී සිටි දැරියකි.
එහෙත් ඇය පිළිබඳ උපන් සැකය මත විදුහල විශේෂයෙන්ම එම තත්ත්වය පොලිසියට පැහැදිලි කර තිබේ.
පොලිසිය කළ විමසීමේ දී දැරිය ප්‍රකාශ කර ඇත්තේ මේ සිසුන් නිරන්තරව තමන් පන්තියෙන් කොන් කර විහිලු තහලු කරමින් අපහාස කරන බවය. එය දරාගත නොහැකි තැන නිවසේ තිබූ වල් පැලෑටි නාශක බෝතලයකින් ටිකක් රැගෙන විත් එම සිසුන්ගේ ජල බෝතල්වලට මිශ්‍ර කර තමන්ගේ බෝතලයටද දමා ගත් බවය.
මේ වනවිට එම සිසුන් පස් දෙනා සහ මෙම දැරිය ප්‍රතිකාර සඳහා නාරම්මල මූලික රෝහලට ඇතුළත් කර තිබේ. රෝහල් ආරංචි මාර්ග කියන්නේ කිසිම දරුවෙකුට මොනම ආකාරයක හෝ බරපතල තත්ත්වයක් නැති බවත් වතුර බෝතල්වලට මිශ්‍ර වී ඇත්තේ විෂ වර්ගයෙන් ඉතාම අඩු සාන්ද්‍රණයක් බවත්ය.
මේ පිළිබඳව කළ විමසීමක දී මනෝ වෛද්‍ය වෘත්තිකයින් ප්‍රකාශ කළේ සම වයස් ඛාණ්ඩ හා හැසිරීමේ ඇති සහජය ආශාව බලහත්කාරයෙන් නැති කර දමනවිට එය දරා ගැනීමේ කුසලතාවය මද දරුවෙක් විශාල මානසික අවපීඩන තත්ත්වයකට පත් විය හැකි බවය.
මෙවැනි අවස්ථා කළමනාකරණය කළ යුත්තේ දැඩි අවබෝධයකින් බව ද ඔවුහු ප්‍රකාශ කළහ.
සිද්ධිය පිළිබඳව පූර්ණ විමර්ශනයක් නාරම්මල පොලිසිය විසින් සිදුකරනු ලබයි.