මිනිස් ජාවාරම්, සමාජ මාධ්‍ය හරහා මිනිසුන්ට වංචාර කිරීම සේම බැංකු පද්ධතිවලට අනවසරයෙන් ඇතුල් වීම වැනි නීතිවිරෝධි ක්‍රියාවල නිරත වූ චීන ජාතිකයින් රැසක් අත්අඩංගුවට ගැනීමට කත්මන්ඩු පොලීසිය සමත් වී ඇතැයි Epardafas.com වෙබ් අඩවිය වාර්තා කරයි.
කත්මන්ඩු මිනිස් ජාවාරම් කාර්යාංශයට අනුව ඉහළ වැටුප් ලබා දෙන බව පවසමින් තරුණයින් විදේශ ගත කරවීමේ ජාවාරමට, අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් සම්බන්ධ වී තිබේ.
චීන ජාතිකයින් දෙදෙනෙකු නේපාල තරුණයින් 10 දෙනෙකු රවටා විකුණා ඇති බව කාර්යාංශයේ පොලිස් අධිකාරී ඩෑන් බහදූර් මල්ලා පැවසීය. ඔවුන් තවත් නේපාල තරුණයින් විදේශගත කර ඇති බවට ඇති සැකය මත වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව ඔහු කියා සිටියේය.
ඔහු පවසන පරිදි, කත්මණ්ඩු දිසා අධිකරණයේ නියෝගයට අනුව, මිනිස් ජාවාරමට සම්බන්ධ චූදිත චීන පුරවැසියන් දෙදෙනෙකු පූර්ව රඳවා තබා ගැනීම සඳහා බන්ධනාගාරයට යවා ඇත. මෙම කාර්යයට සහය දුන් නේපාල පුරවැසියන් විමර්ශනයට ලක් කරන බව ඔහු පැවසීය.







