නෙට්බෝල් සංගමයේ හෙට සහ අනිද්දා පැවැත්වීමට නියමිත නිලවරණයේ, නිලවරණ කමිටුව එක් පාර්ශ්වයකට අතිශයින් පක්ෂග්‍රාහී ලෙස කටයුතු කරන බවට චෝදනා එල්ල වී ඇත.
මෙවර නෙට්බෝල් නිලවරණයට පාර්ශ්ව දෙකක් තරග වදින අතර වත්මන් සභාපතිනිය වන ලක්ෂ්මී වික්ටෝරියා හා හිටපු සභාපතිනියක වන තමාරා ධර්මකීර්ති හේරත් සභාපති ධූරය සඳහා තරග වදිති.
මේ වන විට දෙපාර්ශ්වයෙන්ම තරග වදින නිලධාරිනියන්ට එරෙහිව පැමිණිලි නිලවරණ කමිටුවට ඉදිරිපත් වී ඇතත් හිටපු ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරියකු මෙන්ම නෙට්බෝල් සංගමයේ විවිධ තනතුරු වල නොකඩවා කටයුතු කර ඇති රත්නමුදලි එහි සභාපති ධූරය දරමින් වක්‍රාකාරයෙන් වත්මන් සභාපතිනි ලක්ෂ්මී වික්ටෝරියාට සහාය දක්වමින් තීරණ ගන්නා බවට චෝදනාවක් එල්ල වී ඇත.
ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරිනියන්ට නිලවරණයේ කටයුතුවලට මැදිහත් විය නොහැකි බව දක්වමින් ඔවුන් සම්බන්ධ වී ඇති දිස්ත්‍රික් සංගම් නිලවරණයෙන් ඉවත් කිරීමට රත්නමුදලි ඇතුළු නිලවරණ කමිටුව කටයුතු කරද්දී ලක්ෂ්මීට වාසිදායක වන අයුරින් කටයුතු කිරීම මේ චෝදනා අතර වේ.
තමාරාගේ පාර්ශ්වයට සහාය දක්වන යාපනය හා කොළඹ දිස්ත්‍රික් සංගම්වලට නිලවරණ තහනම් නියෝගයක් ලබා දෙද්දී අමාත්‍යාංශ නිලධාරිනියන් කෙළින්ම සම්බන්ධ හම්බන්තොට ඇතුළු තවත් සංගම් කිහිපයකට නිලවරණයට ඉදිරිපත්වීමට නිලවරණ කමිටුව අනුමැතිය දී තිබීම විශේෂත්වයකි.
මේ අතර වත්මන් සභාපතිනි ලක්ෂ්මීගේ පාර්ශ්වයෙන් තරග වදින චම්පා ගුණවර්ධන නිලවරණ කමිටුවේද සාමාජිකාවක ලෙස කටයුතු කිරීම නීති විරෝධී ක්‍රියාවක් බව අනෙක් පාර්ශ්වය පැමිණිලි කර ඇත. එහෙත් ක්‍රීඩා අමාත්‍යාංශය මෙතෙක් මේ පිළිබඳව කිසිදු පියවරක් ගෙන නොමැත.