සටහන – ශ්‍රියානි විජේසිංහ –
නුවර පෙරහැර ආරම් වීමට පෙර පෙරහැරේ යන අලි ඇතුන් සිය දෙනෙකු පමණ දළදා මාළිගා පරිශ්‍රයේ රඳවා තබයි. මෙහිදී අලි ඇතුන්ගේ සෞඛ්‍ය තත්ත්වය විශේෂයෙන්ම පරික්ෂා කර බැලීමට හා ඔවුන්ගේ හැසිරීම් රටාව සොයා බැලීමේ විශේෂ වැඩපිළිවෙළක් මේ වන විටත් ආරම්භ කර තිබේ. ලංකාසර මේ සම්බන්ධයෙන් පේරාදෙණිය පශු වෛද්‍ය අංශයේ ප්‍රධානී මහාචාර්ය අශෝක දංගොල්ල සමග කළ සංවාදයක් පහත පලවේ.
ප්‍රශ්නය- නුවර පෙරහැරට පැමිණෙන අලි ඇතුන්ව විශේෂ පරික්ෂාවකට ලක්කිරිමක් කරනවා නේද? ඒ ඇයි?
පිළිතුර – නුවර පෙරහැරට දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම අලි ඇතුන් 100ක් පමණ ගේනවා. ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරික්ෂා කිරිමට පහසුම තැනක් මෙතැන. මොකද සියලුම දෙනා එකම ස්ථානයකදී හමුවන නිසා. මෙහිදී අපි සෑම සතෙක් ළඟටම ගොස් ඔවුන්ගේ හැසිරිම් රටාව පරික්ෂා කරනවා. මොකද වන සතෙක් පෙරහැරේ ගමන් කරන්නේ හුදකලාව නෙමෙයි. අනෙක් නැටුම් කණ්ඩායම් එක්ක. ඒ විතරක් නෙවෙයි, පෙරහැර බලන්න විශාල ජනකායක් එනවා. ඒ හැම කෙනෙකුගේම ආරක්ෂා වෙනුවෙන් අපි ඔවුන්ව පරික්ෂා කරනවා.
ප්‍රශ්නය- මෙම පරික්ෂා කිරීමේදී පෙරහැරේ ගමන් කරන්න සුදුසු නැති අලි ඇතුන් හමුවෙනවාද?
පිළිතුර – අනිවාර්යයෙන්ම හමුවෙනවා. මේ සතුන් නුවරට ගේන්නේම පෙරහැරේ යන්න. නමුත් ජනතාවගේ ආරක්ෂාව ගැන අපිට දෙවතාවක් බලන්න වෙනවා. මදකිපුනු සතුන් හිටියොත් අපි පෙරහැරේ ගමන් කරන්න දෙන්නෙ නැහැ. උන්ව මාළිගා පරිශ්‍ර යේ ඈතට වෙන්න බැඳ තබනවා. ඒ වගේමයි වයස් ගතව ලෙඩ වුනු අයෙක් හිටියොත් විශේෂයෙන්ම අපිට තේරුණොත් මේ සතාට පෙරහැරේ ගමන් කරන්න අපහසුයි කියලා අපි ඉවත් කරනවා. තවත් අවස්ථාවන් වලදී අලියාට බඩ රිදෙන්න ගන්නවා. අලියා බඩ යටකරගෙන ඉන්නවා. ඈණුම් අරිනවා, බඩ පුම්බනවා, බඩ අකුලනවා, ඒ වගේ අලිත් පෙරහැරට යවන්නේ නැහැ. ඒ හැරුණු කොට අනෙක් සියලුම අලි පෙරහැරේ ගමන් කරනවා.
ප්‍රශ්නය – මදකිපුණු සතුන්ව හදුනා ගැනීමේ විශේෂ ලක්ෂණ තියෙනවාද ?
පිළිතුර – මද කිපුණු අලි සාමාන්‍ය යෙන් මද ග්‍රන්ථි රතු පැහැ වෙලා මද ගලන ස්භාවයක් පෙන්නවා. මුහුණෙන් තෙල් බේරෙන ගතියක් වගේම දැඟලිලි ස්භාවය තමයි දකින්න තියෙන ලක්ෂණය. නමුත් සමහර සතුන් මද කිපිලාද කියලා පේන්න ලක්ෂණ නැහැ. ඒ සතුන් ළඟට ගියාම මදකිපුනු බව අඟවන සුවඳින් තමයි දැනගන්නේ මද කිපි ඇති බව. මෙය දක්ෂ පශු වෛද්‍යවරයෙකුට හැර වෙනත් කෙනෙකුට හොයා ගන්න බැහැ.
ප්‍රශ්නය – පෙරහැරට දින දෙකකට පෙර සිදුකරන සායනය කුමක්ද,
පිළිතුර – අපි මෙහිදී අලි ඇතුන්ගේ ක්ෂය රෝග තත්ත්වය සහ බරවා රෝග තත්ත්වය පිලිබඳව විශේෂයෙන්ම පරික්ෂා කරනවා. රුධිර පරික්ෂාවන් සිදුකරනවා. ඒ වගේම පණු බෙහෙත් දීම විටමින් දීම වැනි දේවල් සිදුකරනවා. මෙහිදී විශේෂයෙන්ම කියන්න ඕනේ සතුන්ට දෙන විටමින් සියල්ලම හේලිස් ආයතනයේ අනුග්‍රහයෙන් තමයි ලබා දෙන්නේ.
ප්‍රශ්නය – එක් සතෙක් වෙනුවෙන් කොපමණ මුදලක් වැයවෙනවාද?
පිළිතුර – එක් සතෙකුගේ පරික්ෂා කිරීමකට රුපියල් 7000ක පමණ මුදලක් වැය වෙනවා. අපි මේ සියලුම දේවල් කරන්නේ නොමිලේ.
ප්‍රශ්නය – මේ සායනයට වෛද්‍යවරුන් කී දෙනෙක් සහභාගි වෙනවාද?
පිළිතුර – විශේෂඥ පශු වෛද්‍යවරුන් 12ක් පමණ සහභාගි වෙනවා. වෛද්‍ය ශිෂ්‍යයින් 15ක් පමණ සහභාගි වෙනවා. අවශ්‍ය වුණොත් අපි තවත් කණ්ඩායම් සහභාගි කරවා ගන්නවා.
ප්‍රශ්නය – ඔබ කලින් සඳහන් කළා ඇලි ඇතුන් සෑම එකෙක් ළඟටම ගිහිල්ලා ඔවුන්ගේ හැසිරිම් රටාව පිලිබඳව පරික්ෂා කරනවා කියලා. නමුත් ඇතැම් අවස්ථාවන්වලදී ඇතුන් ඇත්ගොව්වාටත් අවනත නොවන අවස්ථාවන් වාර්තා වෙනවා නේද?
පිළිතුර – ඒ ඇත්ගොව්වා අලියා සමඟ කුළු පගු ඇසුරක් නොපවතින අවස්ථාවන්වලදී.
මොකද අලියා කියන්නේ වන සතෙක් . ඌත් එක්ක කුළුපග වෙන්න වසර දෙකක් තුනක් විතර යන්න වෙනවා. සමහර අත්ගොව්වන් කන්න කලින් අලියාට කන්න දෙනවා. සමරහ අයට ඔවුන් කන එකෙන් අලියා පොඩ්ඩක් දෙනවා. නිතරම ආදරයෙන් අතගානවා. ආදරයෙන් කථා කරනවා. එතකොට අලියාට දැනෙනවා ඇත්ගොව්වා ඌට ආදරේ බව. ඒ නිසාම කියනදේ අහනවා.
නමුත් කුළු පගු නැති ඇත්ගෙව්වෙක් වුණොත් තමයි ගැටලුව මතුවෙන්නේ.







