බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ස්ථාන මාරුවක් ලබා දීමට නීතිපතිවරයා දුන් උපදෙස් මෙතෙක් ක්‍රියාත්මක නොකිරිම සම්බන්ධව අධිකරණ ඉදිරියේ කරුණු දක්වන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ පොලිස්පතිවරයා වෙත ඊයේ (25) නියෝග කළේය.
අධිකරණය හමුවේ පෙනී සිටි අතිරේක සොලිසටර් ජෙනරාල් අයේෂා ජිනසේන ප්‍රකාශ කළේ නීතිපතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ස්ථාන මාරු කරන ලෙස පසුගිය 23 දා පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දුන් බවය.
අරලියගහ මන්දිරයේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා රජයට සහාය දෙන පා ගමනක් පැවැත්වීමට සූදානම් බව පසුගිය 08 දා පොලිස්පතිවරයාට බුද්ධි තොරතුරු ලැබී තිබුණු බව ද ඇය කියා සිටියාය.
අතිරේක සොලිසටර් ජනරාල්වරිය කියා සිටියේ පිරිස ගාලුමුවදොර හරහා ගමන් කරන විට සාමය කඩවීමක් සිදුවිය හැකි බැවින් ඒ සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත ලිඛිතව උපදෙස් ලබා දී තිබුණු බවය.
එහෙත් ඉදිරිපත් වූ කරුණු අනුව බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එකී ක්‍රියාවලිය වැළැක්වීම සඳහා කටයුතු කළ බවට අධිකරණයට පෙනී නොයන්නේ යැයි මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය.
මෙහි දී සිද්ධියේ සැකකරුවෙක්වන සනත් නිශාන්ත සමග ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සංවාදයක සිටින ආකාය ගැන කරුණු ඉදිරිපත් වී තිබියදීත් ඔහුව අත්අඩංගුවට නොගැනීම සම්බන්ධව අරගලකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න සිය විමතිය පල කළේය.
ඊට පිළිතුරු දෙමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ සිද්ධිය වූ අවස්ථාවේදී කොල්ලුපිටිය ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පොලිස් අධිකාරීවරයෙක් අතුළු පොලිස් නිලධාරීන් 150ක් පමණ රැඳී සිටි බවය. එමෙන්ම සැකකාර සනත් නිශාන්ත නැමති පුද්ගලයාට ඉදිරියට නොයන ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විධානයක් නිකුත් කළ බවය. එම විධානය කඩ කිරමින් සැකකරුවන් ඉදිරියට ගමන් කරඇති බව විමර්ශනවලින් පෙනී යන්නේ යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහේස්ත්‍රාත්වරයාට පවසා තිබිණි.
ඔහු තත්ත්වය පාලනය කිරීමට කටයුතු කර ඇතැයි හෙළි වී තිබෙන බවයත් තවදුරටත් ඒ සම්බන්ධව විමර්ශන සිදුකරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කීවේය.