මනම්පිටි නිමල් ජයරත්න –
මහවැලි බී කලාපයේ මෙවර යල කන්නයේ පළමුවෙන්ම වී වගා කෙරු සිංහපුර කොට්ටාසයේ මහවැලිතැන්න ගම්මානයේ ඉපැරණි සිරිත් විරිත් වලට අනුකූලව කුඹුරු අක්කර එකසිය තිස් හතරක වී අස්වනු නෙලීම මහවැලි නිලධාරීන්ගේ සහ ගොවීන්ගේ සහභාගිත්වයෙන් අද (01) පෙරවරුවේ සිදුවිය.
මහවැලිතැන්න මල්වැන්න ගොවි සංවිධානය මඟින් කාබනික පොහොර භාවිතයෙන් පමණක් කුඹුරු අක්කර එකසිය තිස් හතරක වී වගාකර තිබූ අතර එම වී අස්වනු නෙලීම කිසිදු යන්ත්‍රයක් නොමැතිව අත්තම් ක්‍රමයට සිදුකර තිබිණි.
ගම්මානයේ බාල, තරුණ, මහලු, සියලු දෙනාම එක්ව පැරණි ක්‍රම භාවිතා කරමින් වී අස්වනු නෙලීම සිදු කිරීම විශේෂත්වයකි.
මෙවර මාදුරුඔය හා පිඹුරත්තෑව ජලාශය යටතේ මහවැලි කොට්ඨාස 8ක 2022 යල කන්නයේ කුඹුරු හෙක්ටයාර් 19,100 ක් වගා කෙරිනි. ඉන් පළමුවෙන්ම වී වගා කළේ සිංහපුර කොට්ටාසයේ මහවැලිතැන්න ඒකකයේ මල්වැන්න ගොවි සංවිධානය වීමද විශේෂත්වයකි.
මහවැලි බී කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකාර නොයෙල් ජයසිරිගේ සහභාගිත්වයෙන් සිංහපුර කොට්ටාසයේ කොට්ඨාස කළමනාකාරවරිය, ඇතුළු එම කාර්ය මණ්ඩලය හා ගොවීන් එක්ව පැරණි ක්‍රමයට අනුව මෙම වී අස්වනු නෙලීම සිදු කෙරිණි.
මෙහිදී අදහස් දැක්වූ මහවැලිතැන්න මල්වැන්න ගොවි සංවිධානයේ සභාපතිනි යූ.එච්.එම්. බාලමැණිකේ සඳහන් කළේ ඉතා දුෂ්කර අභියෝග මැද තමන් මෙවර අක්කර එකසිය තිස්හතරක කාබනික පොහොර වලින් පමණක් වී වගා කිරීමේ අභියෝගය භාරගත් බවය.
ඇතැම් ගොවීන් මෙවර කන්නය අතහැරීමට සූදානම් වී තිබියදී අප්‍රේල් 10 වැනිදා ලබාදුන් ජලය උපරිම ප්‍රයෝජනයට ගනිමින් මෙවර යල කන්නයේ කාබනික පොහොර භාවිතයෙන් සාර්ථක අස්වැන්නක් ලබාගැනීමට හැකියාව ලැබුණ බව ඇය කීවාය.
බෞද්ධ , හින්දු, ඉස්ලාම්, ආගමික වතාවත්වලින් අනතුරුව මල්වැන්න කෙත්යායේ වී අස්වනු නෙලීම් කටයුතු සිදුකළ අතර දෑකැති මගින් නෙලූ ගොයම් ගම්මානයෙ බාල, තරුණ, වැඩිහිටි සියලු දෙනාම එක්ව කමතට ගෙනවිත් ටැක්ටර් රථයකින් පාගා ගත්හ.
වී වල තිබුන මැඩුවම් ඉවත් කිරීම් සුළං ආධාරයෙන් සිදු කළේය.
අවශ්‍යනම් මිනිස්සුන්ට අභියෝග ජය ගත හැකිය. වැලිකන්ද මහවැලිතැන්න දුෂ්කර ගම්මානයේ මල්වැන්න ගොවි සංවිධානය රටට කිව්වේ ඒ කතාවය.