රටේ සියලුම මූලික නීති කඩකරමින් දින 20ක් පුරා විල්පත්තු මායිමේ සංවිධානය කර ඇත අවුරා ලංකා දැවැන්ත සංගීත ප්‍රසංගයට එරෙහි වූ රාජංගනයේ ගොවි සංවිධාන, ගම සුරැකීමේ සංවිධානය, සහ ප්‍රදේශයේ බහුජන සංවිධාන ක්‍රියාකාරිකයින් සියල්ලම අවුරා ලංකා සමාගම සිදුකරන ලද පැමිණිල්ලකට අනුව අද (10) පොලිසියට ගෙන්වීමට රාජාංගනය පොලිිසිය කටයුතු කර තිබේ.
අධිකරණ නියෝග කඩකරමින්, වනජීවි කලාපයක් තුළ, වනජීවි ඉඩමකට බලහත්කාරයෙන් ඇතුළු වී අඩුම තරමේ ශබ්දවිකාශන භාවිතය සඳහා අවසරවත් නොගෙන සිදුකරන්නට සැර යන මේ නීති විරෝධී සැනකකෙළියට එරෙහිව ගොවි සංවිධාන සහ බහු ජන සංවිධාන නියෝජ්‍ය පොලිස්පතිවරයාට, පොලිස් අධිකාරීවරයාට සිදුකළ පැමිණිලිවලට කිසිම ප්‍රතිචාරයක් නොදක්වා තිබිය දී අවුරා ලංකා සමාගම ඊයේ (09) සිදුකළ පැමිණිල්ලක් අනුව වහාම මෙම පිරිස අද පොලිසියට කැඳවා ඇතැයි වාර්තා වේ.
![](http://lankasara.com/wp-content/uploads/2023/07/358471711_645511757632025_2026955084837234829_n.jpg)
අවුරා ලංකා සමාගම පැමිණිලි කර ඇත්තේ තමන්ගේ සංගීත සංදර්ශනයට එරෙහිව මෙම පිරිස කටයුතු කරන බවය.
මේ සම්බන්ධව කරුණු විමසීමට මෙම විරෝධතාවයේ මූලිකත්වය ගත් ලංකා ගුරු සංගමයේ සභාපති එස්.ප්‍රියන්ත ප්‍රනාන්දුට අමතනවිට ඔහු සිටියේ රාජාංගනය පොලිසියේ ය.
ප්‍රියන්ත ප්‍රනාන්දු අප සමග කී කතාව මෙසේය.
“ ගැමියෝ මේ ප්‍රසංගයට විරුද්ධ වෙන්නේ බොහොම සාධාරණ පදනමකින්. අපි මේ සම්බන්ධව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට පොලිස් අධිකාරීවරයාට ඇතුළු සියලු දෙනාටම පැමිණිලි කළා. ඒත් ඵලදායී ප්‍රතිචාරයක් ලැබුණෙ නෑ.”
“ පසුව ගොවි සංවිධාන, ගම්මානය සුරැකීමේ සංවිධානය, ප්‍රදේශයේ බහු ජන සංවිධාන එකතු වෙලා මාධ්‍ය හමුවක් තියලා මේ ප්‍රසංගයට විරෝධතාවය පල කළා.”
“ අපි මේ විරෝධය පල කළේ ද්වේශයෙන් නෙමෙයි. මොකද මේක වනජීවි කලාපයක පවත්වන්නේ. වනජීවී එකට අයිති ඉඩමක්. මේ ඉඩම සම්බන්ධව උසාවි නඩුවක් තියනවා. කාලෙකට කලින් දමපු ඒ නඩුව මගින් වනජීවි දෙපාර්තමේන්තුවෙන් තහනම් කරලා තියනවා එම ඉඩමට ඇතුළු වෙන්න. ඒ තහනම තවම ක්‍රියාත්මකයි.”
“ඒ ඉඩම ඇතුළේ මේ ප්‍රසංගය තියන්නේ. අද වෙනකම් ශබ්ද විකාශන යන්රත්වලට අවසර දීලා නෑ. “
“මේක කළාම වෙන හානිය තමයි ප්‍රධාන වශයෙන්ම විල්පත්තුව සතුන්ට වෙන බලපෑම. දවස් විස්සක් මේ අය එක දිගට ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරනවා, වෙඩි පත්තු කරනවා. දැඩි ආලෝක ධාරා භාවිතය සිද්ධ කරනවා. “
මේ අසල පාසල් දෙකක් තියනවා. ළමයින්ට දවස් විස්සක් පාසල් පාඩුයි. ඊලඟට මේ ප්‍රසංගය හරහා දියත්වන මත්ද්‍රව්‍ය කුඩු ජාවාරම. මේක වළක්වන්න පොලිසිය උත්සාහ කරන්නේ නෑ. ගමට වන හානිය එක්ක තමයි අපි මේ සිද්ධිය ගත්තේ.”
“මාධ්‍යයට මේ ඇත්ත හෙලි කරලා ප්‍රකාශයක් කළාට පස්සේ මේ සංගීත ප්‍රසංගයට තර්ජනය කරනවා කියලා පැමිණිලි කරලා අපව කැඳවලා තියනවා රාජාංගනයේ පොලිසියට.”
මෙතන ඉන්නවා ඒකාබද්ධ ගොවි සංවිධානය ඇතුළු අනෙක් ප්‍රධානම ගොවි සංවිධාන 04 ම නිලධාරීන්. ඒකාබද්ධ ගොවි සංවිධානයේ සෙසු ගොවි ගොවි සංවිධාන 60කට වැඩි ප්‍රමාණයක් සාමාජිකත්වය දරනවා. සංවිධානවල නියෝජිතයින් 12 දෙනෙක් දැන් මෙතන ඉන්නවා.”
ඔහු පැවසුවේ පොලිසිය තමන්ගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමට ගෙන්වූ බවය.