ශ්‍රියානි විජේසිංහ
ධූමායන කටයුතු සඳහා කෘමිනාශක තනුක කිරීමට භාවිත කරන ඩීසල් හෝ භූමිතෙල් වෙනුවට ජලය භාවිත කරන්නැයි කීටවිද්‍යා නිලධාරීන්ගේ සංගමය ඩෙංගු මර්දන ඒකකය යෝජනාවක් කර ඇත.
දැනට සිදුකරන ධූමානයන හේතුවෙන් පරිසරයට සිදුවන හානිය අවම කරලීම සදහා මෙම යෝජනාව ඉදිරිපත් කළ බව සංගමයේ ජාතික සංවිධායක දිස්නක දිසානායක පැවසුවේය.
මේ වන විට සිදුකරන ධූමානයන කටයුතු හේතුවෙන් පරිසරයට විශාල හානියක් සිදුවන බවත් පරිසර හිතකාමී කෘමීන් විනාශ වන බවත් සමාජය තුළ කථිකාවක් නිර්මාණය වී ඇති නමුත් මදුරු මර්දනය සදහා ධූමායනය නතර කළ නොහැකි බව හෙතෙම පෙන්වා දේ.
ඒ අනුව මදුරු මර්ධනයට පරිසර හිතකාමී ක්‍රමයක් ලෙස මෙසේ ජලය භාවිත කිරීමෙන් භූමිතෙල් සහ ඩීසල් සදහා වැය වන මුදල ද ඉතිරිකර ගත හැකි වනු ඇති බව දිස්නක දිසානායක පෙන්වා දේ.
කෙසේ නමුත් කීට විද්‍යා නිලධාරීන්ගේ මෙම යෝජනාව ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා වෙත භාරදුන් බවද ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබෙනු ඇති බවද සංගමය සිය විශ්වාසය පළකර සිටියි.