කීර්ති ප්‍රනාන්දු –
අද (24) දින ලංකාව පුරා සිටින වෛද්‍යවරුන්ගේ පවුල්වල ඥාතීන්ට කොවිඩ් එන්නත ලබාදීමේ වැඩසටහනට විරෝධය දක්වමින් හෙට සිට කොවිඩ් රාජකාරිවලින් බැහැර වීමට සූදානමක් පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.
මේ වනවිට නිල නොවන මට්ටමින් ගම්පහ දිස්ත්‍රික්කය තුළ කොවිඩ් රාජකාරිවලින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් බැහැරව ඇතැයි ද ඔහු කීවේය.
මේ වර්ජනයට සමස්ත සෞඛ්‍ය සේවාවම එක්වන්නට නියමිත බව පවසන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තමන්ගේ ඉල්ලන්නේ විශේෂිත පිරිසක් ඉලක්ක කර නොගෙන සෞඛ්‍ය සේවකයන්ගේ පවුල් ආවරණය කරන ආකාරයට ලබා දෙන ලෙස බව පැවසීය.
“ අද දොස්තරවරුන්ගෙ ඥාති පිරිස් ආවරණය කරන විදිහට දීප ව්‍යාප්තව එන්නත ලබා දෙනවා. ඒකට කමක් නෑ. ඒත් ඇයි ඒ අය විතරක්. කොවිඩ් රාජකාරියේ යොදවා ඇති සුළු සේවකයන් ඇතුළු සමස්ථ සෞඛ්‍ය සේවාවේම පිරිස් ඉන්නේ ජීවිත අනතුරක. කොවිඩ් රාජකාරිවල ඉදිරිපෙළ ඉන්න හෙද කාර්ය මණ්ඩලයේ, සුළු සේවක මහත්වරුන්ගේ, මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ගේ පවුල්වල අයගෙ ජීවිතවලට වටිනාකමක් නැද්ද?. “
මේ වැඩේ එහෙම කරන්න බෑ. මේ එන්නත්කරණය පටන් ගත්තොත් අපි අනිවාර්යයෙන් හෙට දීප ව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යනවා. මේ වනවිටත් ගම්පහ දිස්ත්‍රික්කය තුළ කොවිඩ් රාජකාරිවලින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉවත් වෙලා ඉන්නේ.“
හෙට සිට මේ විරෝධතාවයට සියලුම සෞඛ්‍ය සේවකයන් එකතු වේවි.“
එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.