රජය වාර්ෂිකව අති විශාල ආයෝජනයක් සිදුකරන කෘෂිකර්ම ක්ෂේත්රයේ අවසන් ඵලය වී ඇත්තේ ගොවියා දුකට පත් වී පාරිභෝගිකයා පීඩාවට පත්වීම නම් මෙහි අතරමැදි අවස්ථාවක බරපතල ගැටලුවක් පවතින බවත්, ඊට පිළිතුරු සපයන්නට නොහැකි නම් ජනතාව දුන් ජන වරමින් කළ යුතු දේ නොකළ මිනිසුන් බවට තමන් පත්වන බවත් කෘෂිකර්ම ඇමති ලාල් කාන්ත අද මහනුවර දී පැවසුවේය.
මාධ්‍ය අමතමින් ඔහු කීවේ එවැනි අවසානයක් තම දේශපාලන ව්‍යාපාරයට අවශ්‍ය නොවන බවය. ලබන කන්නයේ සිට විශ්වසානීය දත්ත මත සහල් තොග යම් තැනක සිරවී ඇති බව තහවුරු වන්නේ නම්, ඒ ගබඩා කිරීම් පාරිභෝගිකයා ගසා කන්න පාවිච්චි කරන්නේ නම් ඒ සම්බන්ධව නව පියවර ගැනීමට රජය නොපැකිලෙන බව ද ඔහු අවධාරණය කළේය.
කෘෂිකර්ම ඇමතිවරයා වැඩිදුරටත් පැවසුවේ මෙසේය.
“වෙළෙඳ අමාත්‍යාංශයයි කෘෂිකර්ම අමාත්‍යාංශයයි දෙකම එකතු වෙලා තමයි සහල් ප්‍රශ්නයට උත්තරය හොයන තීරණය ආවේ. අපි දැන් අමාත්‍යාංශ දෙකම සම්බන්ධ වෙලා ඒකට උත්තරය හොයන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරලා තියනවා. ඊට අමතරව කම්කරු අමාත්‍යාංශයත් මේකට සම්බන්ධ කරගෙන තියනවා.”
“දත්ත තියනවා. නැතිව නෙමෙයි. කෘෂීකර්ම අමාත්‍යාංශය සතුව කොච්චර ඉඩම් ප්‍රමාණයක් වගා කළා ද, කොච්චර නිශ්පාදනයක් එනව ද, ආව ද කියලා. නමුත් එතැනින් එහා ටික නෑ. මේක වැඩ කළේ තැන් තැන්වල. කැඩිලා තිබුණේ. පාරිභෝගික කටයුතු අමාත්‍යංශයෙත් යම් දත්ත ටිකක් තියනවා.”
“නමුත් උතත්රය හොයන්න යනකොට ඒකට අදාල දත්ත ටික ටක් ටක් ගාලා එන්නේ නෑ. ඒක අපිට හරියට ආවෙ නෑ. සාකච්ඡාවේදි ඒක අපට හොඳට පේන්න තිබුණා. නමුත් අපි ඒකට විසඳුම් හෙව්වා. වැඩ පිළිවෙළක් හැදුවා. ඉදිරියේදි මේ ප්‍රශ්න එන එකක් නෑ. ”
“අවශ්‍ය ප්‍රමාණයට වගා කරලා තියනවා. අවශ්‍ය වී තොග ලැබිලා තියනවා දත්ත පරීක්ෂා කළාම. හැබැයි වෙළෙඳපලේ හාල් නෑ. හිඟයක් තියනවා. ඉදිරියේ දි එන දෙසැම්බර් උත්සව කාලෙ… අලුත් අවුරුද්දක් ජනවාරියෙ පටන් ගන්නවා. ඒකත් උත්සව කාලයක්.”
“මේ ඔක්කොම ගත්තම වෙළෙඳපලේ නාඩු සහල් නැතිකම පිළිබඳව බරපතල ගැටලුවක් ප්‍රශ්නයක් තියනවා. ඒ නිසා අමාත්‍යාංශ දෙකම එකතුවෙලා අපි තීරණයක් ගත්තා. අපි ඒක කැබිනට් එකට ඉදිරිපත් කරනවා. සහල් මෙට්‍රික් ටොන් 70000ක් පමණ ගෙන්න ඕන. ඒක අවශ්‍යයයි මේ වෙලාවේ මේ ප්රශ්නය විසඳන්න.”
“ඊලඟ කන්නයේ දි මේ ගැටලුව නොඑන්න අපි වැඩ කරනවා. පිටරටින් හාල් ගෙන්වන්නේ නැතිව ඉන්න උපරිම උත්සාහ කරනවා. ඒ වගේම විශ්වසානීයව දත්ත මත අපට වැටහෙනවා නම් මේවා කොහෙ හරි හිරවෙලා තියනවා කියලා, පාරිභෝගිකයව ගසා කන්න පාවිච්චි කරනවා කියලා අපි ඒ සම්බන්ධව අලුත් පියවර ගන්න පැකිලෙන්නෙ නෑ.”
“පිටින් ගේන්න ඕන වෙලාවට ගේනවා. පාරිභෝගිකයාට මේ අසාධාරණය වෙන්න දෙන්න බෑ. ගොවියා ඉතාම දුප්පත්. ඔහු දැවැන්ත පීඩාවක ඉන්නේ. රටක් විදිහට අනෙක් පැත්තෙන් කෘෂිකර්මාන්තයට විශාල ආයෝජනයක් කරනවා. ඒත් ගොවිය දුකට පත් වෙලා. අනෙක් පැත්තෙන් පාරිභෝගිකයත් පීඩාවට පත් වෙලා. ඒ කියන්නේ මේ දෙක මැද ප්‍රශ්නයක් තියනවා. මේ ප්‍රශ්නයට උත්තරයක් හෙව්වෙ නැතිනම් අපි ජනතාව දුන්න ජන වරමෙන් කරන්න ඕන දේ කළ මිනිස්සු බවට පත් වෙන්නේ නෑ.”
“ගොවියගේ ගැටලුවටත් උත්තරය හොයමින්, පාරිභෝගිකයගේ ප්‍රශ්නයටත් උත්තරය හොයමින්, මැද කණ්ඩායමටත් කරදරයක් නොවන විදිහට අපි මේකට තුළනාත්මක උත්තරයක් ගන්නවා. ඒ තුළනාත්මක උත්තරය ගන්න අවශ්‍ය මෙහොතේදී අවශ්‍ය පියවර ගන්නවා. “







