කීර්ති ප්‍රනාන්දු –
ඉන්ධන අපේක්ෂාවෙන් රැය පුරා ඉන්ධනහල් ඉදිරිපිට මිනිස්සු රැය පහන් කරමින් සිටිති. ඊයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සෑම ප්‍රධාන පිරවුම්හලක් අසලම ඉන්ධන බවුසරයක් එනු ඇතැයි අපේක්ෂාවෙන් දහස් ගණන් පිරිස් මහ වැසි නොතකා නිදි වර්ජිතව රැය පහන් කළහ. සමහර ඉන්ධනහල් අසල පෝලිම කිලෝ මීටර දෙක්ක දක්වා ඈතට විහිදි තිබිණි.
තමන්ගේ ඉන්ධන ඇනවුම ලැබෙනවා ද නැද්ද යන්න පිළිබඳව තහවුරු කරගැනීම සඳහා ඉන්ධනහල් හිමියන් සහ පොලිසිය ඉන්ධන බෙදාහැරීම සිදුකරන කොලොන්නාවට ලබා දෙන කිසිම දුරකථන ඇමතුමකට පිළිතුරු නැති වීම බරපතල ප්‍රශ්නයක් වී ඇතැයි වාර්තා වේ.
මේ වනවිට මිනුවන්ගොඩ, දෙවලපල, ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් අසල පැය 24ක් ගෙවා මේ වනවිට නොසන්සුන් වී සිටින ජනතාවට ඉන්ධන ලැබෙනවා ද නැද්ද යන්න දැනගැනීම සඳහා මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා විසින් බලධාරීන් සම්බන්ධ කරගැනීමට පැය භාගයකට ආසන්න කාලයක් දරනු ලැබූ උත්සාහය ව්‍යර්ථ වී ගියේය.
මේ පිළිබඳව කළ විමසීමක දී ශ්‍රී ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා ලංකාසරට ප්‍රකාශ කළේ තමන්ගේ පැත්තෙන් ඉන්ධන ප්‍රවාහනයේ කිසිම ගැටලුවක් නොමැති බවය.
මේ වනවිට ඉන්ධන බෙදා හරින කොලොන්නාව පිරවුම් මධ්‍යස්ථානයේ ටැංකි රථ පිරවීම මුතුරාජවෙල සේ තාක්ෂණිකව දියුණු නැති බවත් ඒ හේතුවෙන් ටැංකියක් පුරවා ගැනිම සඳහා ගතවන කාලය වැඩි බවත් ඔහු පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත් කඩවත දී ඊයේ ඉන්ධන ප්‍රවාහන රථ දෙකක් අවහිර කිරීම සහ කඳානේ දී එක් රථයකට පහරදීම වාර්තා වී ඇති බව ඔහු කීවේය.
මෙවැනි අවස්ථාවක ජනතාව එවැනි හැසිරීමකට යොමු වුවහොත් මේ ප්‍රශ්නය තවත් සංකීර්ණ වනු ඇතැයි ඔහු පැවසීය.