ශ්‍රී ලංකාවට තායිලන්තයෙන් ත්‍යාග ලෙස ලබාදුන් තවත් ඇතෙක් සොයා තායිලන්ත නියෝජිත පිරිස ගියත් ඔහු සිටි ස්ථානයෙන් වෙනත් තැනකට ගෙන ගොස් සඟවා ඇතැයි තායිලන්ත මාධ්‍ය ඊයේ (ජූලි 3) වාර්තා කර තිබිණි.
තායිලන්ත වෙබ් අඩවියක් වන තායි පී.බී.එන්. වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ, තායි දූත පිරිසක් ඇතා දැකබලා ගැනීමට පැමිණෙන බව කලින් දන්වා තිබුණ ද හඳුනා නොගත් ස්ථානයකට එම සතා යවා ඇති බව ය.
ඔවුන් එසේ සොයා ගොස් ඇත්තේ, මුතුරාජා ඇතාට පෙර (තායිලන්තයේදී සක් සුරින්) ශ්‍රී ලංකාවට තෑගි කළ (තායිලන්තයේදී ප්‍රතුපා) ඇතා බව ද එම වාර්තාවන්හි සඳහන් වේ. පෘතුපා යනු ලංකාවේ තායිරාජාය.

ප්‍රතුපා බැහැදැකීමට ගිය ත් ඔහු සොයා ගත නොහැකි වී යැයි මුතුරාජා ආපසු ගෙන යෑමේ කටයුතු සම්බන්ධීකරණය සඳහා පැමිණ සිටින හිටපු තායි නියෝජ්‍ය අමාත්‍යවරියක වන කන්චානා ශිල්පා සිය මුහුණු පොතෙහි සටහනක් තබා තිබේ.
කන්චානා ශිල්පා හිටපු තායිලන්ත අග්‍රාමාත්‍යවරයෙකුගේ දියණියක වන අතර එරට වත්මන් සංචාරක අමාත්‍යවරයාගේ සහෝදරිය වේ.
තායිරාජා (තායිලන්තයේදී ප්‍රතුපා) බැලීමට ඔහු භාර දී තිබූ නුවර විහාරස්ථානයට ගිය ද තායිරාජා එහි නොමැති බවත් තමන්ට ඔහු දැකීමට බලධාරීන් අවස්ථාව ලබා නොදුන් බවත් ඇය මුහුණු පොතෙහි තැබූ සටහනෙහි දැක්වේ.
වාර්තාවන පරිදි තායි නියෝජිත පිරිස සොයා ගොස් ඇත්තේ තායිලන්තයෙන් ලංකාවට පරිත්‍යාග කිරීමෙන් අනතුරුව දළදා මාළිගාව භාරයට පත් කර ඇති තායිරාජා හස්ථියාය.
තායිරාජා ද ලංකාවට ලැබී තිබුණේ තායිලන්ත රජුගේ රාජ්‍ය තාන්ත්‍රික පරිත්‍යාගයක් ලෙසිනි. ඒ අවුරුදු 37කට පෙරය. එවකට දළදා මාළිගාවේ දියවඩන නිලමේ ධූරය දැරුවේ නිරන්ජන් විජේරත්නය.
තායිරාජ මේ වනවිට ඉතාම යහපත් ලෙස සිටින බවත් සෑම වසරකම ඇතා මදකිපුනු පසු සුදුහුම්පොල රජමහා විහාරය වෙත රැගෙන යන බවත් මේ පිළිබඳ කළ විමසීමකදී දළදා මාළිගාව පාර්ශවයේ ආංචි මාර්ග පැවසුවේය.
මේ වනවිට ඇතා මද කපී ඇති බැවින් ඌ සුදුහුම්පල රජමහා විහාරයට රැගෙන ගොස් ඇති බවත් තායි රාජාගේ ඇත්ගොව්වා ඇතා හොඳින් රැක බලා ගන්නා අතර රටින් රැගෙන යෑමට තරම් ව්‍යසනයක් තායිරාජාට සිදුවී නැති බවත් එම ආරංචි මාර්ග කීවේය.
තායි හිටපු නියෝජ්‍ය අමාත්‍ය කාන්චානා ශිල්පා ඇතුළු පිරිසට සැක පහළ වී ඇත්තේ දළදා මාළිගාවට ලබා දුන් ඇතා දළදා මාළිගාවේ නොමැති වීමත් ඒ සමගම ඇතා නිසි පරිදි බලා නොගන්නා බවට ඇය වෙත ලද වැරදි තොරතුත් හේතුවෙන් බවත් දළදා මාළිගාව පාර්ශවයෙන් පැවසුවේය.
කෙසේ වෙතත් මද කිපී සිටින ඇතා මෙල්ල කිරීමේදි ඇතාට යම් සුළු තුවාල ප්‍රමාණයක් සිදුවී ඇතැයි ද වාර්තා වේ.
ලෝකයම ආන්දෝලනයට පත් කළ මුතුරාජා ඇතා ලංකාවට රාජ්‍ය තාන්ත්‍රික පරිත්‍යාගයක් ලෙස ලැබෙන්නේ වර්ෂ 1998 දී ය. මුතුරාජා සමග කණ්ඩුල ඇත් පැටවාත් තායි රජුගේ පරිත්‍යාගයක් ලෙස ලංකාවට ලැබිණි. අනතුරුව කණ්ඩුල ඇත් පැටවා කැළණි විහාරයටත්, මුතුරාජා කන්දේ විහාරයටත් ජනාධිපතිනිය සන්සනස් මගින් ප්රදානය කළාය.

මුතුරාජා කන්දේ විහාරයේ දී කෲර වද බන්ධනයට ලක් වුවත් කණ්ඩුල ඇතා හොඳන් රැක බලාගෙන නඩත්තු කිරීමට කැලණිය රජමහා විහාරය කටයුතු කර තිබුණේය.
කන්චානා ශිල්පා කණ්ඩුල සොයා කැලණියටත් ගොස් තිබිණි. ඒ වනවිට ඇතා සිටියේ කතරගම පෙරහරට සහභාගී වෙමිනි. කණ්ඩුල සමග ගත් ඡායාරූප පෙළක් සමගින් කන්චානා ශිල්පා සිය ෆේස්බුක් ගිනුමේ සටහන් කර ඇත්තේ කණ්ඩුල නීරෝගීව සතුටින් සුවෙන් ඉන්නා බවය.
කෙසේ වෙතත් මේ වනවිට තායිලන්ත රජය රාජ්‍ය තාන්ත්‍රික පරිත්‍යාග ලෙස ඇත් පැටවුන් පරිත්‍යාග කිරීම නවත්වා ඇති බවත්, මෙතෙක් පරිත්‍යාග කළ ඇත් පැටවුන් සම්බන්ධව යළිත් සොයා බැලීම ආරම්භ කර ඇති බවත් ඊයේ (03) සී.එන්.එන් පුවත් සේවය වාර්තා කළේය.
මේ වනවිට තායිලන්ත රජය මගින් ශ්‍රී ලංකාවට ලබා දුන් ඉතිරි ඇතුන් දෙදෙනා ද යළි සිය රටට ගෙන්වා ගන්නා ලෙසට තායිලන්තය තුළ ප්‍රබල ජන මතයක් ගොඩ නැගෙමින් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.







