ශ්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදයට අනුබලදීමේ චෝදනාව මත වර්ෂ 2019 සිට තහනම් කර තිබූ කටාර් චැරිටි පුණ්‍යායතනයේ අරමුදල සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පනවා ඇති තහනම ඉවත් කිරීමට තීරණය කර ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර එම පුණ්‍යායතනයේ නිලධාරීන්ට දැනුම් දී තිබේ.
ඔහු ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශය විසින් මෙම තීරණය නීතිපතිවරයාට දන්වා ඇති බවය. මේ දිනවල කටාර් රාජ්‍යයේෙ සංචාරයක නිරතව සිටින කාංචන විජේසේකර කටාර් චැරිටි පුණ්‍යායතනයේ නිලධාරීන් පිරිසක් හමුවූ අවස්ථාවේ මේ බව ඔවුන්ට දන්වා තිබේ.
Met the Officials of the Qatar Charity yesterday. Conveyed the message that the Defense Ministry has informed the Attorney General its decision to lift the ban on the fund which was imposed in 2019. Discussed the Charity’s work in SL and globally. pic.twitter.com/tHzv7HduLV
— Kanchana Wijesekera (@kanchana_wij) June 30, 2022
එම පුණ්‍යායතනය ශ්‍රී ලංකාවේ සහ ගෝලීය වශයෙන් කරන ලද කාර්යයන් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කළ බව ඇමතිවරයා සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකා බලධාරීන් ‘කටාර් පුණ්‍යායතනය’ ත්‍රස්තවාදී ආයතනයක් ලෙස නම් කර තිබූ අතර නීතිඥ හිජාස් හිස්බුල්ලාගේ ප්‍රමුඛ නඩුවට අදාළව ත්‍රස්තවාදයට සම්බන්ධ ක්‍රියාකාරකම් සඳහා අරමුදල් සපයන බව කියා ඊට චෝදනා කර තිබුණි.
හිස්බුල්ලා 2019 පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කරමින් කටාර් පුණ්‍යායතනය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කිරීම හිස්බුල්ලා කොටු කිරීමේ උත්සාහයක කොටසක් බව හිජාස් හිස්බුල්ලාගේ නීතීඥයන් අධිකරණයේ දී කිවේය.
කටාර් පුණ්‍යායතනයට ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කාර්යාලයක් තිබේ. එහි කාර්ය මණ්ඩලයක් සේවයේ යොදවා ඇත. එහෙත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කළද ඔවුන් ඒ සේවකයින් කිසිවකු අත්අඩංගුවට ගත්තේ නැත.
වර්ෂ 2019 කොළඹදී පැවති කටාර් පුණ්‍යායතන කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වීමෙන් අනතුරුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ත්‍රස්තවාදී සංවිධානයකට සහාය දක්වන බවට බොදු බල සේනා චෝදනා එල්ල කළේය.
හිටපු පොලිස් ඇමති සරත් වීරසේකර 2021 ජනවාරි 08 වැනිදා පාර්ලිමේන්තුවේදී මෙසේ කීවේය.
‘හිජාස් හිස්බුල්ලා කියන පුද්ගලයා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් සමඟ තුන් වතාවක් කතා කරලා තියෙනවා මේකට ඉස්සෙල්ලා. එයා විවාහ වෙලා තියෙන්නේත් ඊජිප්තු කාන්තාවක්. ඇයත් ත්‍රස්තවාදී සංවිධානයකට සම්බන්ධයි. ඒ වගේම ඔහු පර්ල් ඔෆ් යුනිටි කියන පාසලක් පවත්වාගෙන තියෙනවා. ඒ පාසලේ දේශන පවත්වලා තියෙන්නේ සහරාන්. ඒකට මුදල් දීලා තියෙන්නේ කටාර් චැරිටි කියන තහනම් සංවිධානයක්. මේ ගැන තවදුරටත් විමර්ශන කටයුතු සිද්ධ වෙනවා. ත්‍රස්තවාදී කටයුතුවලට සම්බන්ධ වුණ කෙනෙක් ගැන ඔබතුමා වැනි කෙනෙක් කතා කරන්න එපා කියන එක තමයි මගේ ඉල්ලීම.’
අද තහනම ඉවත් කළ බව කාංචන විජේසේකර කීවේ මේ ආණ්ඩුවම තහනම් සංවිධානක් බව කියූ එම කටාර් චැරිටි අරමුදලයට.