රටේ පවතින කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා තවත් සතියක හෝ දෙකක කාලයක් අගුලු දැමීමට පියවර ගත යුතු බව එක්සත් ජාතික පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.
රජය විසින් දැනටමත් වෛරසය පාලනය කිරීම සඳහා දින 10ක කාලයක් සඳහා රට ලොක්ඩවුන් කර ඇති නමුත් එය වත්මන් වෛරස ව්‍යාප්තිය මැඩලීමට ප්‍රමාණවත් නොවන බව රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියේය.
කොවිඩ්- 19 වසංගතය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (26) දිනයේ දී සිදු කළ සම්පුර්ණ ප්‍රකාශය පහතින් දැක්වේ.
” ඇමරිකා එක්සත් ජනපද ආධාර ඒජන්සියේ (USAID) ප්‍රධානී සමන්තා පවර් මහත්මියට කතා කොට මෙරටට එන්නත් ලබා දෙන ලෙස ඉල්ලා සිටි මංගල සමරවීර මැතිතුමා අද අපගෙන් සමුගෙන තිබෙනවා. මාධ්‍ය ආයතන ප්‍රධානියෙකු වූ රාජා මහේන්ද්‍රන් මැතිතුමාත්, ජනාධිපති නීතිඥ ඩී. එස්. විජේසිංහ, නීතිඥ ගෞරි තවරාසා මැතිණිය ඇතුළු ඔබ අප දන්නා හඳුනන බොහෝ දෙනෙකු කොවිඩ් වසංගතය හමුවේ ජීවිත අතහැර ගොස් තිබෙනවා.
කොවිඩ් වසංගතය රට පුරා අද වන විට සීග්‍රයෙන් පැතිරෙනවා. එන්නත් ලබාගන්නා ජනතාව ගේ ප්‍රමාණය ඉහළ යන්නාසේම කොවිඩ් රෝගයට ගොදුරුවන පිරිසත් ඉහළ යමින් සිටිනවා. අගෝස්තු මාසය ආරම්භ වන විට 5000 ක සංඛ්‍යාවක පැවැති කොවිඩ් මරණ, මාසය අවසාන වන විට 8000 ට ආසන්න වී තිබෙන බව දැක ගත හැකියි. මේ සති කිහිපය තුළ කොවිඩ් මරණ සංඛ්‍යාව 3000 ක් බවට පත් වුණා.
කොවිඩ් ආසාදිතයන් වාර්තාවීමේ සංඛ්‍යා ලේඛනවලත් ගැටළු මතු වෙලා. ප්‍රමාද වී වාර්තා වුණු ආසාදිතයන් පිරිසක් පසුගියදා සංඛ්‍යා ලේඛනවලට එකවරම එකතු කළා. ඒ අනුව මෙරට තුල වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් 5000 සීමාව ඉක්මවා ගියා.
කොවිඩ් ආසාදනය වීම සීග්‍රයෙන් පැතිර යාම නවතා ගත යුතුයි. අලුත් රෝගීන් ඇතිවීම නවත්වා ගැනීමට දැනට තිබෙන එකම මාර්ගය රට අගුළු දැමීම නොහොත් ලොක්ඩවුන් කිරීමයි. රජය මේ වන විට දින 10 ට රට වසා දමා තිබෙනවා. වෛද්‍ය උපදෙස් අනුව එය ප්‍රමාණවත් නෑ. අපේ සැබෑ පරමාර්ථය ඉටු කර ගන්න නම් තව සතියක් දෙකක් රට වසා දැමීමකට යා යුතුයි. ඒ නිසා මේ අවස්ථාවේදී මෙම කාරණය ගැන වගකිවයුතු පාර්ශ්වයන් යළි යළිත් සිතිය යුතු යැයි මම අවධාරණය කරනවා.
රජය දින 10 ට රට වසා දැමීමට ගත් තීරණයට අපේ සම්පූර්ණ සහාය හිමි වෙනවා. මෙතනදී තවත් පැත්තකින් ආර්ථික හානිය ගැනත් සිතා බැලිය යුතුයි. එතනදී ලොක්ඩවුන් එකකදී වන ආර්ථික හානියට වඩා ලොක්ඩවුන් එකක් නොමැති තත්ත්වයේ දී රටට වන ආර්ථික හානිය වැඩි බව පැහැදිලියි.
එම නිසා මේ ආර්ථික ගැටළුව විසඳාගන්න අපට තිබෙන එකම පිළියම ජාත්‍යන්තර මූල්‍ය අරමුල හෙවත් I.M.F. සමඟ සාකච්ඡා කිරීමයි. ආර්ථික සහාය එතනින් අපට ලබාගත හැකියි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කොවිඩ් අර්බුදයෙන් ඉදිරියට එන්න ඩොලර් කෝටි 72 ක ප්‍රදානයක් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතයි.
එම නිසා ජනාධිපති, අගමැති ප්‍රමුඛ ඇමති මණ්ඩලයට මම යෝජනා කරන්නේ වෛද්‍ය උපදෙස් අනුව ක්‍රියා කරමින් තව සතියක් හෝ දෙකක් රට වසා දමන ලෙසයි. ඒ වෙනුවෙන් රටවාසීන් සියළුදෙනා ගේ සහාය ලැබෙනු ඇතැයි ද මම තරයේ විශ්වාස කරනවා.”