අද (10) දහවල් තඹුත්තේගම, තලාව, ජයගඟ හන්දිය ප්‍රදේශයේ දී සිදුවු බස් රථ අනතුරින් මියගිය පාසල් සිසුවා සාමාන්‍ය පෙළ විභාගයට සූදානම්වන සිසුවෙකු බව පොලීසිය පවසයි. මිය ගිය සිසුවා 411 ගම්මානයේ පදිංචි තලාව ජාතික පාසලේ ඉගනුම ලැබූ දරුවෙකි.
මේ දරුවා සාමාන්‍ය පෙළ විභාගය සඳහා පැවැත්වෙන සම්මන්ත්‍රණයකට සහභාගී වී යළි නිවෙස බලා යද්දී මේ ඛේදවාචකයට මුහුණ දී තිබිණි.
බස් රථයේ ගමන් ගත් තවත් 47 දෙනෙක් තුවාල ලැබූ අතර ඉන් 09ක් පාසල් සිසුන්ය.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන තිදෙනෙකුගේ තුවාල බරපතල බව අනුරාධපුර ශික්ෂණ රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය නිමල් ආරියරත්න ප්‍රකාශ කළේය. ඔවුන්ට නිසි ප්‍රතිකාර ලබා දෙන බව ද ඔහු සහතික කළේය. එමෙන්ම අනෙක් කිසිම රෝගියෙකුට බරපතල තුවාල සිදුවී නැති බව ද රෝහල් අධ්‍යක්ෂවරයා පැවසුවේය. සෞඛ්‍ය අංශ පවසන්නේ තත්ත්වය කළමනාකරණය කර ඇති බවය.
“කාර්යමණ්ඩලයක් විදිහට අපේ විශේෂඥ වෛද්‍ය වරු ඇතුළු සියලුම කාර්ය මණ්ඩල මේ වනවිට අවශ්‍ය කරන ප්‍රතිකාර ලබා දෙමින් පවතිනවා. “ රෝහල් අධ්‍යක්ෂවරයා කීවේය.
බස්රථය තලාවෙන් ගමන් කර ඇත්තේ අද දහවල් 12.30ට පමණය. තලාව නගරය පසු කර කිලෝමීටරයකට අධික දුරක් ගමන් කළ බස් රථය ජය ගඟ හන්දිය පසු කිරීමෙන් පසු අඩි 06ක් පමණ පහළට පෙරළී අනතුර සිදුවී තිබේ.
බස්රථය අනතුරට ලක්වන අවස්ථාවේ මගීන් 47 දෙනෙක් ගමන් කරමින් සිට ඇත. අපොස උසස් පෙළ විභාගයට මුහුණ දුන් සහ සමාන්‍යපෙළ විභාග සම්මන්ත්‍රණයකට සහභාගී වූ සිසුන් 09 දෙනෙකු ද ඒ වනවිට බස් රථය තුළ ගමන් කරමින් සිට ඇත.
අනතුර සිදුවූ වහාම තුවාලකරුවන් තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබිණි. අනතුරුව තලාව රෝහලේ සිට වැඩිදුර ප්‍රතිකාර සඳහා පිරිස අනුරාධපුර රෝහලට ඇතුළත් කර කිරීමට කටයුතු සිදුවිය. මේ වනවිට 47 දෙනාම අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. ඉන් 31 දෙනෙක් කාන්තාවන් බව පොලිසිය පවසයි.
අනතුර සිදුවූ ආකාරය බස් රථයේ සිටි සිසුවෙක් මාධ්‍ය වෙත පවසා තිබිණි.
“ බස් එක ස්පීඩ් ආවා. බයික් එකක් ආවා. බයික් එක වැදුනා. බස් එක එක පැත්තකට කැපුවා. ආයෙම අනෙක් පැත්තට කැපුවෙ නෑ. එහෙම්ම පෙරළුනා.” සිසුවා කීවේය.
ප්‍රදේශවාසීන් කීවේ මේ පාර ඉතාම පටු බවය. අනෙක් පැත්තෙන් ගඟ ගලා යන බවත්, අනාරක්ෂිත ගස් විශාල ප්‍රමාණයක් ඇති බවත් ප්‍රදේශවාසීහු පැවසුහ.







