ජාතික තරුණ සේවා සභාව සිරිපාදේ පැවැත්වීමට නියමිත පූජාවක් වෙනුවෙන් හැටන් ශ්‍රී පාද මාර්ගයෙන්, නල්ලතන්නියේ සිට භාණ්ඩ ඉහළට රැගෙන යෑම සඳහා රණවිරුවන්ගේ සහය ලබා දෙන මෙන් ඉල්ලමින් ලිපියක් එවා ඇති බවත්, මේ රට එවැනි තරුණයින් සහිත රටක් බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් අද පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.
තරුණසේවා සභාවක්නම් සැබැවින්ම කළ යුත්තේ තරුණ පිරිස් එකතු කරගෙන තමන්ට හැකි අන්දමින් වැඩ කිරීම මිස මෙවැනි කටයුතුවලටත් රණවිරුවන් කැඳවීම නොවන බව ඔහු පෙන්වා දුන්නේය.
වැඩක් නොකරන, වැඩ කිරීමට කම්මැලි පුද්ගලයින්, වැඩ කරන පුද්ගලයින්ව සමච්චලයට ලක් කරමින්, ඔවුන්ට අපහාස උපහාස කරන ආකල්ප සහිතව මේ රට දියුණු කළ නොහැකි බව ද, ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකාව, මෙම කලාපයේ අනෙක් රටවල්වලට සාපේක්ෂව වැඩියෙන්ම සහනාධාර දෙන රට, වැඩියෙන්ම බඩු බෙදන රට, වැඩියෙන්ම වෘත්තිය සමිති ක්‍රියාමාර්ග, වැඩ වර්ජන තිබුණු රට සේම මෙරට ජනගහණයෙන් ප්‍රතිශතයක් ලෙස වැඩිම රාජ්‍ය සේවකයින් ඉන්න, වැඩිම විශ්‍රාම වැටුප් ගෙවන රට බව ද ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පැවසීය.
ජනාධිපතිවරයා පැවසූ අන්දමට ජනප්‍රිය නොවන තීන්දු තීරණ නොගෙන මේ රට දියුණු කළ නොහැකි බවත්, අයිඑම්එෆ් නොව කුමන ආයතනයක් සහයට පැමිණියත් රටේ ජනතාවගේ ආකල්ප වෙනස් නොවෙන තාක් රට දියුණු කළ නොහැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.
“මේ රටේ වැඩක් කරලා හොඳක් අහගත්ත මිනිහෙක් නෑ. හොඳක් අහන්න නම් මැරෙන්නම වෙනවා. උදාහරණයක් විදියට. අනගාරික ධර්මපාලතුමා. රට අතඇරලා ගියා. රට දිහා බලාගෙන නිදාගන්නවත් බෑ කිව්වා. දැන් හැමතැනම පිළිරූ හදලා අවුරුද්දක් ගාණේ සමරනවා. දැන් මහින්ද රාජපක්ෂට මහින්ද හොරා කියනවා. දවසක මේ රටේ ගරු සැලකිල්ල ඉහලින්ම ලැබෙයි. මේක හොඳක් අහන්න මැරෙන්නම ඕනේ රටක්. ඉන්නකම් ගහනවා. ”
” මේ ආකල්පවලින් අපිට එළියට එන්න සිද්ද වෙනවා. අපේ රටේ හොරා කියන්නේ දේශපාලඥයාට විතරක් නෙමෙයි. ගමේ වුණත් යමක් කමක් හොයා ගත්ත මනුස්සයටත් හොරා නැත්නම් කුඩුකාරයා කියනවා. ”
” අපේ ගමේ පාන්දර 4ට නැඟිටලා මහන්සි වෙලා ව්‍යාපාරයක් කරලා මුදල් හොයාගත්ත ව්‍යාපාරිකයාට ගමේ මිනිස්සු කිව්වා නිධානයක් හාරලා අලයක් ගත්තා කියලා. අන්තිමට ළමයට ඉස්කෝලේ යන්නත් බැරිවුණා.. මේ රටේ දියුණු වෙන මිනිස්සු එක පැත්තකින් නිධන් හොරෙක් නැත්නම් කුඩුකාරයෙක් බවට පත් කරනවා මේ සමාජය. මේ ආකල්පවලින් එළියට එන්නේ නැතුව දියුණු වෙන්න පුළුවන් කියලා හිතන්න එපා. ”
” වැඩ කරලා මහන්සිවෙලා එන කෙල්ලෝ තුන්දෙනාට තාප්පේ උඩට වෙලා ඔහේ ඉන්න කොල්ලෝ තුනක් ගාමන්ට් බඩු කියලා විහිළු කරනවා. ”
” ව්‍යාපාරයක් දියුණු වෙද්දී ඒක මාෆියා එකක් කළා. එළවළු මාෆියාව, බිත්තර මාෆියාව, ගෑස් මාෆියාව.. අපේ රටේ දේශීය ව්‍යාපාර දියුණු කරනවා වෙනුවට කකුලෙන් අදින ආර්ථික, දේශපාලන ක්‍රමවේදයක් හදලා තියෙන්නේ. අයිඑම්එෆ් නෙමෙයි මොනවා ආවත් වැඩක් නෑ මේ ආකල්ප හැදෙන්නේ නැතුව.”
” කාණු අත ගාන්න, කාණු සුද්ද කරන්න රණවිරුවන් ඉල්ලනවා. ප්‍රජා සත්කාර කරනවා අපි. ඒත් මෙහෙම දේවල්වලට රණවිරුවන් යොදවන්න සූදානම් නෑ.”
” අපි ක්‍රීඩා භාණ්ඩ බෙදලා ලබන ප්‍රගතියක් නෑ. අපි හදන්න ඕනේ වැඩ කරන රටක්. වැඩ කළොත් දියුණු වෙන්න පුළුවන් කියන රටක් අපි හදන්න ඕනේ…”
ඔහු වැඩිදුරටත් සඳහන් කළේය