දිනසේන රතුගමගේ –
යාපනයේ අරියාලෙයි ප්‍රදේශයේදී කාන්තාවක් මරා දමා ඇය ගමන් කළ යතුරු පැදිය සමග වළලා තිබියදී පොලීසිය විසින් 9 දා සොයා ගෙන තිබේ.
මෙම සිද්ධියට සම්බන්ධ බව කියන තුන් දෙනෙකුද පොලිසිය විසින් මේ වන විට අත් අඩංගුවට ගෙන ඇති අතර එම තුන් දෙනා සවාමි පුරුෂයෙකු බිරිදක් හා බිරිදගේ සහෝදරයෙකු බවට හඳුනාගෙන තිබේ.
යාපනයේ මනියතෝට්ටම් උදයනගර් ප්‍රදේශයේ පදිංචිව සිටි 42 හැවිරිදි ප්‍රදීපන් ජසින්තා නැමති කාන්තාව මේ අන්දමට ඝාතනයට ලක් වී ඇති අතර ඊට හේතුව විශාල මුදලක් මෙම මියගිය කාන්තාවගෙන් සැකකාර පවුලේ උදවිය විසින් ණයට ලබා ගෙන එම මුදල ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් බව පොලීසිය ප්‍රකාශ කරයි.
එම ණය මුදල ගෙවීම පැහැර හැරීම සදහා අදාල කාන්තාව මරා ඇය ගමන් කළ යතුරු පැදිය සමග වළ දමන්නට ඇතැයි පොලීසිය විශ්වාස කරයි.
මාර්තු මස 1 වෙනිදා යාපනය නගරයට යන බව කියමින් යතුරු පැදියෙන් ගිය කාන්තාව යළි ආපසු නොපැමිණීම නිසා ඇයගේ ස්වාමි පුරුෂයා ඒ පිළිබදව යාපනය පොලීසියට පැමිණිලි කොට තිබූ අතර පොලීසිය එම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරමින් සිටියදී පොලීසියට ලැබුණු රහසිගත තොරතුරකින් පසුව මිය ගිය කාන්තාවගේ මළ සිරුර යාපනයේ අරියාලෙයි ප්‍රදේශයේ නිවසක් පිටුපස වළලා තිබියදී ගොඩ ගැනීමට හැකි වී තිබේ.
යාපනය මහේස්ත්‍රාත් ඒ.ඒ. ආනන්දරාජා, අධිකරණ වෛද්‍ය නිලධාරී එස්. ප්‍රනාවන් යන මහත්වරු ඉදිරියේදී අදාල කාන්තාවගේ මළ සිරුර හා ඇය භාවිත කළ බව කියන යතුරු පැදිය ගොඩ ගෙන ඇති යාපනය පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.