ණය බරින් මිරිකුණු ශ්‍රී ලංකාවේ පවතින විදේශ විනිමය අර්බුදය ඇතුලු පීඩන තත්ත්ව හමුවේ චීන ආධාරවලින් ඉදිකරන ලද හම්බන්තොට වරායේ චීන හමුදා කඳවුරු ස්ථාපිත කිරීමට පවා බලපෑම් එල්ල වීමේ ඉඩක් ඇති බවට පාකිස්තානයේ හිටපු ඉන්දීය මහ කොමසාරිස් සහ ජම්මු මධ්‍යම විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය ජී. පාර්තසාරති පවසයි.
ඉන්දියාවේ ළඟම මිතුරන් වන ශ්‍රී ලංකාවේ සේම පාකිස්ථානයේ ද ආර්ථික පසුබෑමක් ඇති වී තිබීම සම්බන්ධයෙන් ඔහු සිය කනස්සල්ල පළ කරමින් ඉන්දීය පුවත්පතට ලිපියක් ලියමන් මේ බව පෙන්වා දී ඇත.
ඔහු මෙසේ ලියා තිබේ.
“ශ්‍රී ලංකාව මේ වන විට ගැටලුකාරී තත්ත්ව රැසකට මුහුණ දී සිටී. විශේෂයෙන්ම කොවිඩ් නිසා ලංකාවට සංචාරකයින්ගේ පැමිණීම අඩු විය. බොහොමයක් ශ්‍රී ලාංකිකයින් ප්‍රකාශ කරන්නේ තම ගැටලු පැන නැඟී තියෙන්නේ පාලක පක්ෂයේ අතපසුවීම් , වැරදි තීරණ හා කොමිස් ලබා ගැනීම් නිසා බවය. 2021 දී රසායනික පොහොර තහනම් කිරීම සමඟින් රජය විශාල පසුබෑමකට ලක් විය. ආර්ථික ගැටලු නිසා චීන ආධාර යටතේ ඉදිකළ හම්බන්තොට වරාය ඔවුන්ගේ හමුදා කඳවුරු සඳහා දීමට ඉඩ ඇත. “
“කොළඹ වරායේ එවැනි තත්ත්වයක් ඇති නොවෙන්න ඉන්දියාව හා ජපානය එකතු ව ක්‍රියා කරනු ඇත. පසුගියදා අත්සන් තබන ලද වසර 35ක ගිවිසුමකින් ඉන්දියාවේ අදානි සමූහයට ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමඟ එක්ව වරාය පුළුල් කිරීමට සීයට 51ක කොටස් හිමිවිය. මෙම ව්‍යාපෘතිය සඳහා ජපානය ආධාර ලබා දෙනු ඇත. ඇස්තමේන්තු ගත කර ඇති අන්දමට වරායේ ගමනාගමනයෙන් සියයට 75ක් සෑදී ඇත්තේ ඉන්දියාවට ගෙනියන හෝ ඉන්දියාවෙන් ගෙන එන භාණ්ඩවලිනි.‘
“මේ අතර ඉන්දියාවේ අපනයන හා ආනයන බැංකුව ශ්‍රී ලංකා රජය සමඟ පෙබරවාරි මාසයේදී ඛනිජ තෙල් නිෂ්පාදන මිලට ගැනීම සඳහා ඩොලර් මිලියන 500ක ණය ගිවිසුමකට අත්සන් තැබූහ. මෙම ගිවිසුම යටතේ ඉන්ධන ටොන් ලක්ෂ 4ක තොග 10ක් සපයා තිබේ. ලංකාවේ සිදු කරන ලද වෙනම හා හදිසි ඉල්ලිමකට ප්‍රතිචාර ලෙස ආහාර හා ඖෂධ වැනි අත්‍යාවශය ද්‍රව්‍ය සැපයීම සඳහා ඩොලර් බිලියනයකින් ණය පහසුකම දීර්ඝ කිරීමට ද කටයුතු කර ඇත. එලෙසම ජනවාරි මාසයේදී ඉන්දියාව ඩොලර් මිලියන 400ක මුදල් හුවමාරුවක් සිදු කරන ලද අතර ඩොලර් මිලියන 515ක ආපසු ගෙවීම් කල් දමා යළි ඩොලර් මිලියන 498.9ක මූල්‍ය ආධාරයක් ලබා දුනි.“
“අමේ වන විට දකුණු ආසියාවේ වේගවත් සංවර්ධනයක් පෙන්නුම් කරන බංග්ලාදේශය ද ඩොලර් මිලියන 200ක මුදල් හුවමාරු පහසුකමක් ලංකාව ලබා දීමට එකඟ වී ඇත.”