රසායනික පොහොර තහනම මැද ඩොලර් මිලියන 6.9ක් රටට අහිමි කරමින් මෙරටට චීනයෙන් පොහොර ගෙන්වීම පසුපස සිටින වගකිවයුත්තා ශෂීන්ද්‍ර රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා බවත් ඔහු සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්නා පියවර කුමක්දැයි තමන් කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කරන බවත් රත්නපුර දිස්ත්‍රික් සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි හේෂා විතානගේ අද (01) පාර්ලිමේන්තුවේදී පැවසීය.
රටට අලාභයක් සිදු කළ වගකිව යුත්තන් සම්බන්ධයෙන් යම් පියවරක් ගැනීම රජයේ වගකීමක් බවත් වර්තමාන රජය රාජපක්ෂ හිටපු අමාත්‍යවරයාට එරෙහිව පියවරක් නොගන්නේ රාජපක්ෂවරුන් ට එරෙහිව පියවරක් ගැනීමට ඇති බිය නිසාදැයි ඔහු තවදුරටත් ප්‍රශ්න කළේය.
විතානගේ මන්ත්‍රිවරයා මේ ප්‍රකාශය කලේ කෘෂිකර්ම අමාත්‍යවරයා මන්ත්‍රි අතුරලියේ රතන හිමියන් විසින් නගන ලද කාබනික පොහොර භාවිතය පිළිබඳව ඇසූ ප්‍රශ්නයක් මත ඇති වූ පාර්ලිමේන්තු සංවාදයේදීය.
මෙහිදී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේ ප්‍රතික්ෂේප කරන ලද චීන පොහොර නැවට ගෙවූ ඩොලර් මිලියන 6.9ක මුදල ආපසු ලබා ගැනීම හෝ ඒ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර පිළිබඳව ක්‍රියා කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර ඇති බවයි.
එහිදී තවදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ මේ සම්බන්ධයෙන් ගත යුත පියවර පිළිබඳව නීතිපතිවරයා ගෙන් ද යම් උපදෙස් ලැබී ඇති බවයි.
කෙසේ වුවද මෙම පොහොර වෙනුවෙන් ගෙවූ ඩොලර් මිලියන 6.9ක මුදල ආපසු ලබා ගැනීම හෝ ඒ වෙනුවට රසායනික පොහොර ගෙන්වීමට තමන්ගේ උපදෙස් මත අමාත්‍යංශය ක්‍රියා කළද මෙතෙක් එම කටයතු සාර්ථක වී නැති බවද ඔහු පැවසීය.