අපනයනයෙන් උපයන ලද ආදායම් ගෙන්වා නොගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහබැංකුව විසින් අනාවරණය කරන ලද වාර්තාව පිළිබඳ අපනයන ආදායම් මෙරටට ගෙන්වා ගත් සහ රුපියල් සදහා පරිවර්‍තනය කළ අපනයනකරුවන් කලබල විය යුතු නැති බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
මහබැංකුවේ පර්යේෂණ කණ්ඩායමක් විසින් ඉදිිරිපත් කරන ලද කරුණු ඔස්සේ තහවුරු වූ පරිදි 2020 වසරේ සිට මෙරටට ලද අපනයන ආදායමෙන් විශාල ප්‍රමාණයක් ආපසු රුපියල් බවට පත් කර නොමැති බව මහ බැංකු අධිපතිවරයා පෙන්වා දෙයි.
2021 මුල් මාස අට තුළ ඩොලර් බිලියන 3 කට ආසන්න අපනයන ආදායමක් අපනයනකරුවන් නැවත ගෙන්වා නොගෙන විදේශයන්හි ගබඩා කර ඇති බව මහබැංකුව විසින් මෑතකදී හෙළිදරව් කළේය.
මෙරට අපනයනකරුවන් 2020 වසරේ සිට මේ දක්වා විදේශ විනිමය තැන්පතුවල රැස් කර ඇති එම අපනයන ආදායම මේ වනවිට මහ බැංකුවේ උපදෙස් පරිදි පරිවර්‍තනය කළ යුතුව ඇත.
2020 සිට මේ වන තෙක් විදේශ විනිමය තැන්පතුවල එකතු වී ඇති අපනයන ආදායම මාස 6 ක් තුළ සමානුපාතිකව පරිවර්තනය කළ යුතුය.
කෙසේවෙතත් මෙම තත්ත්වය මත විදේශ විනිමය ගලා ඒම සහ පිටතට ගලා යාම පිළිබඳව සොයා බැලීම සඳහා 2022 ජනවාරි 1 දා සිට ජාත්‍යන්තර ගනුදෙනු වාර්තාකරණ පද්ධතියක් ක්‍රියාත්මක කිරීමට මහබැංකුව කටයුතු කරනු ඇත.