කොවිඩ් 19 වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය මේ වනවිට ලොව පුරා රටවල් 92ක් තුළ වේගයෙන් පැතිර යන වෛරසය බවට වී ඇති බවත් මෙම වෙරස ආසාදනය හේතුවෙන් ශරීරයේ සංකුලතා සිදුවීම අවම කර ගැනිමට නම් දැනට කොවිඩ් සඳහා භාවිත කරන කවර එන්නතකින් වුවද මාත්‍රා දෙකම ලබා ගැනීම අත්‍යවශ්‍ය බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාක්ෂණික ප්‍රධානී වෛද්‍ය මාරියා වැන් කර්කෝව් ප්‍රකාශ කරයි. ඊයේ (21) රාත්‍රි ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර සිට මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් අදහස් දැක්වූ වෙද්‍ය මාරියා කර්කෝවා තවදුරටත් සඳහන් කළේ විවිධ එන්නත් මෙම වෛරසයට එරෙහිව ක්‍රියා කරන ආකාරයේ විවිධ වෙනස්කම් තිබුණද පොදුවේ ගත් කල සෑම එන්නතකින්ම රෝග තත්ත්වය උත්සන්න කිරීම වළක්වාලන බවය.
ඊයේ පැවති ලෝක සෞඛ්‍ය සංවිධාන මාධ්‍ය හමුවේදී වැඩි අවධානයක් යොමු වූයේ මෙම ඩෙල්ටා පිළිබඳවය. එහිදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයක් හමුවේ තම අදහස් දැක්වූ වෛද්‍ය මාරියා කර්කෝව් පවසන්නේ දැනට පැතිරීම අතින් වේගවත්ම කොවිඩ් වෛරස ප්‍රභේදය ලෙසින් සැලකෙන්නේ ඩෙල්ටා ප්‍රභේදය බවයි. එසේ වුවද එය උත්සන්න රෝග තත්ත්ව ඇති කර වීම හෝ මාරාන්තික බවින් වැඩිම වෛරසය බවට කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් සොයාගෙන නොමැති බව සඳහන් කළේය.
මෙම වෛරස ප්‍රභේදය එන්නත් හමුවේ පරාජය නොවන බවට ස්කොට්ලන්ත පර්යේෂකයන් පිරිසක් පැවසුවද මෙම කරුණ පිළිගැනීමට එම පරීක්ෂණය පමණක් ප්‍රමාණවත් නොවන බවද සඳහන් කළාය. එමෙන්ම එහිදී ඇය තවදුරටත් සඳහන් කළේ එන්නත් මෙම ඩෙල්ටා ප්‍රභේදය හමුවේ සම්පූර්ණයෙන් සාර්ථක නොවූවද වෛරසය මඟින් රෝගීන් අසාධ්‍ය මට්ටමට පත් කරවීම බොහෝ දුරකට පාලනය කළ හැකි බවය.
මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍ය මයික් රයන් සඳහන් කළේ ඩෙල්ටා ප්‍ර භේදය ලෝකය පුරාම වඩාත් ස්ථාපිත වූ වෛරස ප්‍රභේදය බවට පත්ව ඇති බවය.
ඒ අනුව මෙම ප්‍රභේදයෙන් විශේෂයෙන්ම කොවිඩ් ඉදිරිපෙළ අවදානමේ සිටින පුද්ගලයන් සහ පහසුවෙන් ගොදුරු විය හැකි පුද්ගලයන් රැක ගැනීමට නම් ඔවුන්ට කඩිනමින් එන්නත් ලබා දිය යුතු බව පෙන්වා දුන්නේය. එසේ වුවද ලෝකයේ බොහෝ රටවල එවැනි අවදානම් සහගත පුද්ගල කාණ්ඩ සඳහා මේ අයුරින් එන්නත ලබා දීමට නොහැකිව ඇති බවත් මේ සඳහා ඇති හැකි රටවල ආධාරය දායකත්වය අතිශයින්ම වැදගත් බවද ඔහු පෙන්වා දුන්නේය.