මනම්පිටිය නිමල් ජයරත්න –
දින පහකට අධික කාලයක් තම මඩ වැඩ කටයුතු සඳහා ඉන්ධන නොමැතිව පොලොන්නරුව වැලිකන්ද සමුපකාර ඉන්ධන පිරවුම් හල අසල රැඳී සිටී සේනපුර කොට්ඨාසයේ ගොවි සංවිධාන 11ක ගොවී සාමාජිකයින් පිරිසක් වැලිකන්ද සිංහපුර නිව් රත්න සහල් මෝලට රැගෙන යමින් සිටි ඩීසල් බවුසරයක් හරස් කිරීමට ඊයේ (11) සවස කටයුතු කිරීමත් සමග ඇතිවන්නට ගිය උණුසුම් තත්ත්ව ඉතාම බුද්ධිමත් ආකාරයෙන් විසඳා දීමට ආරක්ෂක අංශ ඇතුළු පරිපාලනය කටයුතු කළේය. ඔවුන් ප්‍රකාශ කළේ මේ ඉන්ධන තොගය පැමිණියේ සමූපාකාර ඉන්ධන පිරවුම්හලට බැවින් ප්‍රමුඛත්වය ජනතාවට ලබා දෙන ලෙසය.
සේනපුර කොට්ඨාස සංවිධාන සභාපති කපිල සිරිල් පතිරණ ඇතුළු ගොවීන් මේ අවස්ථාවේ දී සඳහන් කළේ තම කොට්ටාසයේ ගොවි සංවිධාන 11ක සාමාජිකයින්හට ඉන්ධන නොමැති කම නිසා සී සෑමට නොහැකි වී ඇති බවත්, ඇතැම් ගොවීන්ගේ බීජ වී පැලවී නිවාසවල සති ගණන් තිබෙන බවත්ය. දියට යෙදු බීජ වී කුණු වී ඇති බවත්, එම තත්ත්වය යටතේ රැගෙන ආ ඉන්ධන බවුසරය සිංහපුර නිව් රත්න සහල් මෝලට රැගෙන යාම බරපතල අසාධාරණයක් බවත් ය.
මෙම ස්ථානයට පැමිණි වැලිකන්ද පොලිසිය හා හමුදාවේ උසස් නිලධාරීන් කීප දෙනෙකු සඳහන් කළේ නිව් රත්න සහල් මෝල් අධිපතිවරයා ඩීසල් සඳහා මුදල් බැඳ ඇති බවත්, කොළඹ ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය සහල් ප්‍රවාහනය කිරීමට ඔහුගේ ලොරි රථ වලට ඩීසල් අත්‍යවශ්‍ය බවත්ය. ඒ අනුව ඉන්ධන තොගය ඔහුට ලබා දිය යුතු බව ආරක්ෂක අංශ පැහැදිලි කළේය.
එම යෝජනාවට විරුද්ධ වූ ගොවීන් පැවසුවේ නිව් රත්න සහල් මෝල් අධිපතිවරයා කොළඹට සහල් ප්‍රවාහනය කළ යුතු වන්නේ තමන් වී වගා කළොත් පමණක් බවය. ඔහුගේ සහල් මෝලට අවශ්‍ය ඉන්ධන තොග ඕනතරම් ඔහු සතුව පවතින බවත්, මේ මොහොතේ අසරණවී සිටින තමන්ට වහාම එම ඉන්ධන බවුසරයේ ඩීසල් නිදහස් කර සීසෑමට අවශ්‍ය කටයුතු කරදෙන ලෙස ගොවීහු ඉල්ලා සිටියහ.
ඒ අනුව රැගෙන ඩීසල් ලීටර් 13200 න් ලීටර් 6,000 ට අධික ප්‍රමාණයක් ගොවීන් පන්සියයකට වැඩි ප්‍රමාණයකට බෙදාදීමට වැලිකන්ද පොලිසියත්, යුද හමුදාවවත්, ඉන්ධන පිරවුම්හල් කළමනාකාරවරයාත් කටයුතු කළහ.
කූපන් ක්‍රමය අනුව ගොවීන්ට අවශ්‍ය ඉන්ධන තොග බෙදාදුන් අතර ඉදිරි දින කිහිපයේදී රැගෙන එන ඩීසල් ලීටර් 6000 කින් යුතු ඩීසල් බවුසරයේ ඩීසල් ද ගොවීන්ට බෙදාදීම්ට මෙම ස්ථානයට පැමිණි යුද හමුදාව, පොලිසිය, සහ ඉන්ධන පිරවුම්හල් කළමනාකාරවරයා පොරොන්දු වීමත් සමඟ ගොවීන්ගේ විරෝධතාවය අවසන් කළහ.