දිනසේන රතුගමගේ –
ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (EPDP) මෙවර ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය දැක්වීමට තීරණය කොට ඇතැයි එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක අයියතුරෙයි සිරිරංගේෂ්වරන් අද (31) යාපනයේදී පැවසීය.
යාපනය මාධ්‍ය සංගම් ශාලාවේදී විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

ජනතා ඡන්දයෙන් සෑම අවස්ථාවකම තේරී පත් වූ EPDP පක්ෂයේ නායක ඩග්ලස් දේවානන්දා වසර තිහක්ම මේ රටේ අමාත්‍යවරයෙකු වශයෙන් නොකඩවා සේවය කලේ EPDP පක්ෂය නිරන්තරයෙන්ම උතුරු නැගෙනහිර දෙමළ ජනතව සමග සිටින නිසා බවද පැවසීය.
“ෆෙඩරල් රාජ්‍යයේ ස්වාධීනත්වය” යන දේශපාලන ඉලක්කයට අනුකූලව දේශපාලනය තුළින් ඩග්ලස් දේවානන්දා අමාත්‍යවරයෙකු ලෙස ජනතාවට සේවය කරමින් සිටින බවත් ඔහුගේ එකම අවිය හා ශක්තිය දෙමළ ජනතාව හා ඔවුන්ගේ අයිතිවාසිකම් බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී අවධාරණය කළේය.
මෙවර ජනාධිපතිවරණයට දකුණේ අපේක්ෂකයින් ගණනාවක්ම ඉදිරිපත්වන බවට පෙර ලකුණු පහල වී ඇති බව සඳහන් කළ ඔහු ඒ කිසිම පක්ෂයක අපේක්ෂකයෙකුගේ අතකොලුවක් වීමට හෝ ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමට EPDP පක්ෂයට කිසිදු වුවමනාවක් නොමැති බවද ප්‍රකාශ කළේය.
එමෙන්ම EPDP පක්ෂය වැනි ඉතා හොද පක්ෂයක් උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට ඇති නිසා ඔවුන් තවත් පක්ෂයක නියෝජිතයින් වීමේ අවශ්‍යතාවයක් නොමැති බව සදහන් කළ මාධ්‍ය ප්‍රකාශකවරයා EPDP පක්ෂය කවර අවස්ථාවකදීවත් වෙනත් පක්ෂයක හෝ පුද්ගලයෙකුගේ නියෝජිතයෙක් නොවන බවද පැවසීය.
වර්ථමානයේදී රටේ තත්ත්වය හා රටේ අනාගතය දෙස බලන විට රට ගොඩ ගැනීමට සිටින එකම නායකයා රනිල් වික්‍රමසිංහ පමණක් බැවින් EPDP පක්ෂයේ නායක ඩග්ලස් දේවානන්දා අමාත්‍යවරයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහයෝගය ලබා දිය යුතු බව මීට බොහෝ කලකට පෙර තීරණය කළ කාරණයක් බවද පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක අයියතුරෙයි සිරිරංගේෂ්වරන් වැඩිදුරටත් සදහන් කළේය.







