ලියාපදිංචි කළ විශිෂ්ට ප්‍රමිතිගත ඖෂධ සමාගම් හයක් මගහැර, ඖෂධය ගෙන්වීම සඳහා ටෙන්ඩරය අනුමත කර තිබූ ඩෙන්මාර්ක් ඖෂධ සමාගම එන්නත් කුප්පියකට ඩොලර් 1.65 මිලක් ලබා දී තිබිය දී ඉන්සියුලින් සහ ඉන්සියුලින් අසිපේන් එන්නත් කුප්පි 42500ක් එක් කුප්පියක් ඩොලර් 4 බැගින් ලියාපදිංචි නොකළ යුක්රේනයේ සමාගමකින් මිලදී ගැනීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව කටයුතු කර ඇති ආකාරය සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි.
හදිසි මිලදී ගැනීම් ලෙස මෙම ඖෂධ තොගය මිලදී ගෙන ඇත්තේ අමතර ස්වාරක්ෂක තොගයක් ලෙස වීම මේ මිලදී ගැනීමේ ගැටලුව තවත් තීව්‍ර කරන ආකාරය එම පුවත්පත පෙන්වා දෙයි.
සන්ඩේ ටයිම්ස් සිද්ධිය වාර්තා කර ඇත්තේ මෙසේය.
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂ M. Y. K. විල්ෆ්‍රඩ් පසුගිය මාසයේ ඖෂධ නියාමන අධිකාරය වෙත ලිඛිතව ඉල්ලීමක් කරමින් ඉන්සියුලින් කුප්පි තිස් දහසක් සහ ඉන්සියුලින් අයිසොපේන් කුප්පි 12 500ක් ලියාපදිංචියෙන් තොරව යුක්රේන සමාගමක්වන “Indar” නම් සමාගමින් හදිසි මිලදී ගැනීමක් සඳහා ඉල්ලීම් කර තිබිණි.
මෙම යුක්රේන සමාගමේ දේශීය ආනයනකරුවන්නේ Yaden International (Pvt) Ltd ය. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මෙම ඖෂධ තොගය මිලදී ගැනීමට අවසර ඉල්ලා තිබුණේ අතිරේක ස්වාරක්ෂක ඖෂධ තොගයක් ලෙස තොග පවත්වා ගැනීම සඳහාය.
මෙම සමාගම ඖෂධය සඳහා තනි ලංසුකරු බවත් සෞඛ්‍ය අංශයේ හදිසි ප්‍රසම්පාදන කමිටුව විසින් මෙම සමාගමේ දේශීය ආනයනකරුවන Yaden International (Pvt) Ltd සමාගම හදිසි මිලදී ගැනීම් සදහා අනුමත කළ සමාගමක් බවත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂ M. Y. K. විල්ෆ්‍රඩ් ඖෂධ නියාමන අධිකාරියේ විධායක නිලධාරියාට ලිඛිතව දැනුම් දෙන්නේය.
හදිසි මිලදී ගැනීමේ අනුමැතියට යටත්ව ගෙන්වූ මෙම ඉන්සියුලින් ද්‍රාව්‍ය කුප්පි 30,000ක් සඳහා ගෙවූ මුළු වටිනාකම ඇමෙරිකානු ඩොලර් 121,884.8650 කි. එක් බෝතලයකට වැය මිල ඇමෙරිකානු ඩොලර් 4කි.
ඉන්සියුලින් අයිසොපේන් කුප්පි 12,500ක් සඳහා මුළු වටිනාකම ඇමෙරිකානු ඩොලර් 50,785.3604කි. යළිත් එම කුප්පියක මිල ඇමෙරිකානු ඩොලර් 4කි.
මෙම ඖෂධ ගෙන්වීම සඳහා ලියාපදිංචි ලංකාවේ පිළිගත් ඖෂධ සමාගම්වන ඉන්දියාවේ MJ BioPharm සහ ඩෙන්මාර්කයේ Novo Nordisk ඇමරිකානු ඩොලර් 1.55 ට ඉන්සියුලින් කුප්පියක් සඳහා මිල ගණන් ඉදිරිපත් කර තිබිණි.
තුන්වැනි සමාගම වූ ඉන්දියාවේ Wockhardt, එක් ඉන්සියුලින් කුප්පියක් සඳහා ඉදිරිපත් කළ මිල ඇමරිකානු ඩොලර් 1.65 කි. ලයිස්තුවේ හයවන ලැයිස්තුගත සමාගමවන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Gulf Pharma ඉදිරිපත් කළ මිලත් ඉන්සියුලින් එකුප්පියකට ඇමරිකානු ඩොලර් 4ක් පමණක් විය. ටෙන්ඩර් කැඳවූ අවස්ථාවේ දී මෙම ඖෂධය ගෙන්වීම සඳහා අදාල ඩෙන්ඩරය ලබා දී තිබුනේ අඩුම මිලක් ඉදිරිපත් කළ ඉහළම ප්‍රමිතිගත සමාගම වූ ඩෙන්මාර්කයේ Novo Nordisk සමාගමටය.
එසේ තිබිය දී ඉන්සියුලින් කුප්පියක් සඳහා ඇමරිකානු ඩොලර් 2.35ක් වැඩිපුර ගෙවමින් ලියාපදිංචි නොකළ යුක්රේන සමාගමකින් ස්වාරක්ෂක තොගයක් ලෙස පවත්වා ගැනීමට ඉන්සියුලින් සහ ඉන්සියුලින් අයිසොපේන් කුප්පි 42500ක් ගෙන්වීමේ ගැටලුකාරී ස්වරූපය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රශ්න කරමින් තිබේ.
සෞඛ්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ මූලාශ්‍රයක් පැවසුවේ “ඉන්සියුලින් යනු බහුලව භාවිතා වන අත්‍යවශ්‍ය ඖෂධයක් බැවින් අමතර ස්වාරක්ෂක එන්නත් තොග කලින් ලියාපදිංචි කළ සැපයුම්කරුවෙකුගෙන් ලබා ගැනීමට හැකියාව තිබූ බවය.