ටිබෙටයේ වෙසෙන ළමුන්ව බලහත්කාරයෙන් සිය පවුලේ සාමාජිකයින්ගෙන් වෙන් කර මධ්‍යස්ථාන සහ කඳවුරු වල තබා ගැනීම සම්බන්ධයෙන් චීන බලධාරීන් පිරිසකට ඇමරිකා එක්සත් ජනපදයට ඇතුළු වීම තහනම් කිරීමට එක්සත් ජනපද රජය තීරණය කර ඇත.
ඒ අනුව අදාල චීන නිලධාරීන් පිරිසට ඇමරිකා එක්සත් ජනපදයට ඇතුළු වීමට අවසර දෙන වීසා ලබා දිම අත්හිටුවීමටද එක්සත් ජනපද රජය විසින් තීරණය කරනු ලැබ ඇති බවද වාර්තාවේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂඥයින් පවසන පරිදි ටිබෙටයේ ළමුන් මිලියනක් ඔවුන්ගේ පවුල්වලින් වෙන් කර ඇති බවත් එහිදී එම ළමුන් බලහත්කාරයෙන් කඳවුරු වල රඳවාගෙන සිටින බවටද ජගත් සංවිධානය පෙන්වා දෙයි.
එක්සත් ජනපදය සහ චීනය අතර ඉහළ මට්ටමේ සංවාදයක් නැවත ආරම්භ වී තිබියදීත්, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් පැවසුවේ ටිබෙට් හී ළමුන් බලහාත්කාරයෙන් කඳවුරු වල රඳවා තබා ගැනීමට කටයුතු කරනු ලබන චීන නිලධාරීන්ට එක්සත් ජනපදය වීසා ලබා දීම සීමා කිරීමට පියවර ගන්නා බවයි.
“මෙම බලහත්කාර ප්‍රතිපත්ති මගින් ටිබෙටයේ තරුණ පරම්පරාවන් ටිබෙටයට සුවිශේෂී වූ භාෂාමය, සංස්කෘතික සහ ආගමික සම්ප්‍රදායන් තුරන් කිරීමට උත්සාහ කරමින් සිටිනවා,” යනුවෙන් රාජ්‍ය ලේකම් බ්ලින්කන් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.
“අපි චීන බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ රජය විසින් පවත්වාගෙන යනු ලබන නේවාසික පාසල්වලට ටිබෙට් ළමයින් බලහත්කාරයෙන් ඇතුලත් කිරීම අවසන් කරන ලෙසත්, ටිබෙටයේ සහ චීනයේ හි අනෙකුත් ප්‍රදේශවල මර්දනකාරී සහ මානව හිමිකම් සීමා කිරීමේ ප්‍රතිපත්ති නැවැත්වීමටත් පියවර ගන්න ” යනුවෙන්ද රාජ්‍ය ලේකම්වරයා විසින් වැඩිදුරටත් ප්‍රකාශ කරනු ලැබීය.