ආගමික සංහිඳියාව විනාශ කර දමන ආකාරයේ ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ගලබොඩ අත්තේ ඥානසාර හිමියන්ට වසර 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් සහ රුපියල් ලක්ෂයක දඩයක් අද (28) කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් නියම කළේය.
ඒ ඥානසාර හිමිට එරෙහිව නීතිපතිවරයා විසින් පනවා තිබූ නඩුවක අධි චෝදනා දෙකටම වරදකරු කරමිනි.
පසුගිය 2016 වසරේ මාර්තු මස (30) වන දින පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවකදී කූරගල විහාරස්ථානය ගැන සිදු කරන ලද ප්‍රකාශයකින් ජාතික හා ආගමික සංවිහිඳියාවට හානියක් වන ප්‍රකාශයක් කළේ යැයි කොළඹ මහාධිකරණය හමුවේ මෙම නඩුව ගොනුකර තිබිනි.
නඩුවේ අධිචෝදනා පත්‍රය කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි විසින් වර්ෂ 2020 ඔක්තොම්බර් මස 21 දා ඥානසාර හිමියන් වෙත බාර දුන්නේය.
කෙසේ වෙතත් නඩුවේ අවසන් නඩුවාරය කැඳවූ පෙබරවාරි 16 දා තමන් කල එම ප්‍රකාශ වලින් මුස්ලිම් ජනතාවට යම් අපහසුතාවක් සිදුවී නම් මුස්ලිම් ප්‍රජාවගෙන් සමාව අයදින බව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ හමුවේ විත්තිකූඩුවේ සිට ප්‍රකාශයක් කරමින් පූජ්‍ය ගල්ගොඩ අත්තේ ඥානසාර හිමි කියා සිටියේය.