රජයේ රෝහල්වල සිදුකෙරෙන කොවිඩ් ආසාදිතයන් හඳුනා ගැනීමේ පී.සී.ආර් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සාම්පල ගන්නා සෞඛ්‍ය සේවකයන්ට අවදානම් දීමනාවක් ලබා නොදී වෛද්‍යවරුන්ට පමණක් එම දීමනාව ලබා දීමට විරෝධය පළ කරමින් එම කටයුත්තෙන් ඉවත් වූ හෙදියන් , මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයන් වෙනුවට එම කටයුත්ත දැනට සිදු කරන වෛද්‍යවරුන් සඳහා ඒ වෙනුවෙන් අතිරේක ව අතිකාල දීමනාවක් ගෙවන ලෙසට රජයේ නිලධාරීන් ගේ සංගමය රජයට බලපෑම් කර ඇත. මෙම දීමනාව ලබා නොදුණහොත් එම කටයුත්තෙන් ඉවත් වන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවා ඇති අතර මෙම කටයුත්ත ස්වේච්ඡාවෙන් ඉටු කරන වෛද්‍යවරුන්ට පවා ඔවුන් තර්ජනය කරන තත්ත්වයක් පවතින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයක් ලංකාසරට අනාවරණය කළේය.
අවදානම් දීමනාව සෙසු සෞඛ්‍ය සේවකයන්ට ලබා නොදීමේ අසාධාරණය පිළිගන්නා ඇතැම් වෛද්‍යවරුන් පවතින තත්ත්වය යටතේ රෝහල්වල ආසාදිතයන් හඳුනා ගැනීමේ සහ ඔවුන්ට අදාළ ඉදිරි ප්‍රතිකාර සිදු කිරීමේ කටයුතු අඛණ්ඩව සිදු කරගෙන යාම සඳහා ඔවුන්ම මෙම පරීක්ෂණ සාම්පල රෝගීන්ගෙන් ලබාගෙන රසායනාගාර වෙත යැවීමට කටයුතු කරයි. කෙසේ වුවද මෙම වෛද්‍යවරුන්ට මේ වනවිටත් අවදානම් දීමනාවක් හිමිවන අතර එය ප්‍රමාණවත් නොවන බවත් තමන්ට නියමිත රාජකාරී කාලය තුළ සිදු කරන මෙම පරීක්ෂණ සාම්පල ලබා ගැනීම සඳහා පැය 120ක අතිකාල දීමනාවක් ලබා දෙන ලෙසට රජයට බලපෑම් කර ඇත.
කෙසේ වුවද මෙම දීමනාව ලබා දීම සම්බන්ධයෙන් අමාත්‍යංශය කිසිදු තීරණයක් ගෙන නැති වුවද දැනට එම සාම්පල ලබා ගැනීම සිදුකරන වෛද්‍යවරුන් ට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් විසින් සිදුකරන තර්ජන හේතුවෙන් මෙම ක්‍රියාවලිය අකර්මණ්‍ය වීමේ අවදානමක් නිර්මාණය වී ඇතැයි මෙම ආරංචි මාර්ග තවදුරටත් අනාවරණය කළේය.