චමින්ද සිල්වා –
තීරු බදු නොගෙවා රැගෙන විත් ගබඩා කරගෙන නීති විරෝධී මත්පැන් ජාවාරමක් කළ ජාවාරම්කරුවෙක් සතුව තිබූ රුපියල් ලක්ෂ 75ක් වටිනා විදේශ මත්පැන් බෝතල් 337 ක් විනාශ කර ජාවාරම්කරුට රුපියල් එක් ලක්ෂ හතලිස් පන් දහසක දඩයක් නිමය කිරීමට අද (04) අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
මෙම මත්පැන් තොගය, වරාය හා ගුවන් තොටුපළ ආශ්‍රිත තීරුබදු රහිත විදේශ මත්පැන් වෙළඳසැල් වලින් හොර රහසේ රට තුළට ගෙන්වා තිඹිරිගස්යායේ සිඛෝපබෝගී නිවසක පිටුපස කොටසේ ගබඩා කර තිබීයදී සුරාබදු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබිණි. ලැබෙන ඇනවුම් මත මෙම මත්පැන් තොගය සිල්ලරව විකිණීමට සූදානම් කර තිබුණු බව විමර්ශන අංශ පැවසුවේය.
මෙම මත්පැන් තොගය හේතුවෙන් රජයට අහිමිවීමට නියමිතව තිබූ බදු මුදල් ප්‍රමාණය රු. මිලියන තුනකට අධික බව විමර්ශන අංශ පවසයි.
සැකකරු හා සාක්ෂි භාණ්ඩ අද (04) දින අළුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර චූදිත වරද පිළිගැනීමෙන් අනතුරුව චූදිතයාට රුපියල් 145,000/- ක් දඩ මුදලක් නිමය කළ අධිකරණය එම විදේශීය මත්පැන් තොගය විනාශ කිරීමට නියෝග කළේය.
බදු සතියට සමගාමීව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ නියෝග මත බස්නාහිර පලාත් (I) සහකාර සුරාබදු කොමසාරිස් ජයන්ත ද සිල්වා ගේ උපදෙස් මත කොළඹ නගරය (I) සුරාබදු අධිකාරී / කොළඹ නගරය සුරාබදු ස්ථානයේ ස්ථානාධිපති තිලක් දිසානායක මහතාගේ අධීක්ෂණය යටතේ ප්‍රධාන සුරාබදු පරීක්ෂක ආර්. චින්තක ගේ මෙහෙයවීමෙන් සුරාබදු පරීක්ෂක අකිල රත්මලවින්න විසින් සුරාබදු කෝප්‍රල් 725 ධනංජය පුෂ්පකුමාර ලබාදුන් සාර්ථක ඔත්තුවකට අනුව මෙම වැටලීම සිදුකර තිබිණි.
මෙම ග්‍රහණය සදහා කොළඹ නගර සුරාබදු ස්ථානයේ සුරාබදු කෝප්‍රල් වරුන් වන 716 බණ්ඩාර, 826 ඉන්දික, 1074 චතුර, 1097 හසිත, 1185 සිනෙත් , සුරාබදු නියාමක 1161 තිලිණ, සුරාබදු නියාමක රියදුරු ලංකා යන නිලධාරීහු එක්වී සිටියහ.







