සබරගමුව පළාත් ආණ්ඩුකාර ධූරය තමන් වෙත ලබා දීමට ජනාධිපතිවරයා පොරොන්දු වන්නේ මීට මාස 08කට පමණ කලින් බවත්, මේ සැබෑ වූයේ ජනාධිපතිවරයා දුන් එම පොරොන්දුව බවත් සබරගමු පළාත් නව ආණ්ඩුකාර නවීන් දිසානායක අද (13) පැවසුවේය.
ආණ්ඩුකාර ධූරයේ දිවුරුම් දීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් නවීන් දිසානායක මේ බව කීවේය.
එහිදී නව ආණ්ඩුකාරවරයා මෙසේ ද පැවසුවේය.
“තනතුර මට ජනාධිපති තුමා පොරොන්දු වුණේ මාස 8කට පමණ පෙර දෙනවා කියලා. ඉතින් ඒක අද සැබෑ වෙලා තියෙනවා. මේක කැබිනට් ඇමතිවරයෙක්ට සමාන තනතුරක්. පළාත් සභාවක් නැති තැන ආණ්ඩුකාරවරයාට තමයි ඔක්කොම බලතල තියෙන්නේ. ඉතින් මම ඒ බලතල පාවිච්චි කරලා, සබරගමුව පළාතට විශාල සේවයක් කරන්න බලාපොරොත්තු වෙනවා.”
“ජනාධිපති තුමාගෙන් ම අපි ඉගෙන ගත්ත දෙයක් තමයි අපි අභියෝගවලට මුහුණ දෙන එක. ඒ කියන්නේ යම්කිසි තැනකට ගිහිල්ලා ඒ අභියෝගය භාර ගන්න අවශ්‍යයි. ඉතින් මම මෙතැනට ගිහිල්ලා විශේෂයෙන් මූල්‍ය අර්බුදයක් තියෙන අවස්ථාවක, රජය වියදම් කපාහරින අවස්ථාවක, මම බලාපොරොත්තු වෙනවා මගේ හැකියාවෙන්, විශේෂයෙන් පෞද්ගලික අංශයෙන් මුදල් ලබා ගෙන සබරගමුවේ විශේෂයෙන් ම අධ්‍යාපන ක්ෂේත්‍රයට විශාල සේවයක් කරන්න. ඉතින් මට ඒක කරන්න පුළුවන් නම් මාස 18ක් වැනි කාලයක් තුළ මම හිතන්නේ මම එක පෞද්ගලිකව ලබන ජයග්‍රහණයක්.”