පසුගිය ජූලි හය වෙනිදා ජනාධිපති මන්දිරය ඉදිරිපිට උද්ඝෝෂණයක නියැලුණු හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුලු තවත් දහ දෙනෙකු සැකකරුවන් ලෙස නම් කරන මෙන් පොලීසිය කළ ඉල්ලීම කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.
හිරුණිකා ඇතුලු දහ දෙනාට අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබූ අතර විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් පැවසුවේ දේශපාලන තත්ත්වය වෙනස් වූ විට පොලීසියට නඩු පැවරීමට නීතියෙන් ඉඩක් නොමැති වගය.
එසේම පවතින ආකාරයට කරුණු වාර්තා කිරීමට නීතියේ ප්‍රතිපාදන නොමැති වග ද ඔවුහු සඳහන් කළහ. මේ හේතුවෙන් හිරුණිකා ඇතුලු පිරිස සැකකරුවන් ලෙස නම් කරන මෙන් පොලීසිය සිදු කළ ඉල්ලීම නීති විරෝධී බව ද පැවසීය.
නීතිඥවරුන්ට එකඟ වූ මහේස්ත්‍රාත්වරයා එම පිරිස සැකකරුවන් ලෙස නම් කිරීම ප්‍රතික්ෂේප කළ අතර කිසිදු නියෝගයක් ද නිකුත් නොකළේය.
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිස ජූලි 6 වෙනිදා කළු පැහැති ඇඳුමින් සැරසී ජනාධිපති මන්දිරය ඉදිරිපිට උද්ඝෝෂණයක් කළේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය තනතුරින් ඉල්ලා අස්විය යුතු බව පවසමිනි.
මෙම නඩුවේදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හා පිරිස වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆර්මන් කැසිම්, හෙජාස් හිස්බුල්ලා, හෆීල් ෆාරීස් හා බුද්වින් සිරිවර්ධන සංජීව කොඩිතුවක්කු යන නීතිඥවරු පෙනී සිටියහ.