දිනසේන රතුගමගේ –
ජනාධිපතිවරයා සහ දෙමළ ජාතික සන්ධානය අතර පැවැත්වෙන සාකච්ඡා කිසි විටකත් පටලවා ගනිමින් පක්ෂයේ අරමුණු වෙනස් මගකට යොමු නොකරණ බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්පන්ධන් ඊයේ 23 දා පැවසීය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ පසුගිය 18 වැනිදා රාජාසන කතාවේ දී රජයේ ඉදිරි දැක්ම පිළිබඳ සාකච්ඡා කිරීමට දේශපාලන පක්ෂ වලට කළ ආරාධනය පිළිබඳ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
දෙමළ ජාතික සන්ධානය හා ජනාධිපතිවරයා අතර සාකච්ඡා පැවැත්වෙන්නේ ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරණ ලද රජයේ ඉදිරි දැක්ම හා වැඩ පිළිවෙළ ගැන පමණක් ප්‍රස්තුත කරගෙන නම් එවැනි සාකච්ඡාවකට සහභාගී වී දෙමළ ජාතික සන්ධානය පක්ෂයක් වශයෙන් රැවටීමකට ලක් නොවන බවත් කලකිරීමකට පත් නොවන බවත් සම්පන්ධන් මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේය.
“දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට අවශ්‍ය බව මීට ඉහතදී අවස්ථා කීපයකදීම පෙන්වා දුන්නා. නමුත් ජනාධිපතිවරයා ඊට ඇහුම් කන් දුන්නෙ නෑ. එක් වරකදී සාකච්ඡාවක් සදහා දිනයක් හා වේලාවක් ලබා දී අවසාන මොහොතේදී එය වෙනස් කළා. ජනාධිපතිවරයාගේ හා රජයේ අවශ්‍යතා සඳහා පමණක් පක්ෂය ඒ ඒ පර්ශ්වයන් සමග සාකච්ඡා කිරීමට සූදානම් නෑ…“ යැයි කී සම්පන්දන් මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා විසින් මෑතකදී ඉදිරිපත් කරන ලද රජයේ ඉදිරි දැක්ම හා වැඩ පිළිවෙළ ගැන විශ්ලේෂණයක යෙදුණු බව කීවේය.
ඒ අවස්ථාවේදී පෙනී ගියේ ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශ තුළ දෙමළ ප්‍රශ්නය විසදීමට හෝ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කොට නොමැති බවක් යැයි දෙමළ ජාතික සන්ධාන නායකයා සඳහන් කළේය.