ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් ලෙස, ඡන්ද දායකයෙක් ලෙස, ඡන්ද හිමි නාම ලේඛනයේ සිටිනා සෑම ඡන්ද දායකයෙක් වෙනුවෙන්ම රජය විසින් දැරිය යුතු පිරිවැයක් දරා ඇති බැවින් පුරවැසි වගකීම ඉටුකිරීම සඳහා උදෑසනම සිය ඡන්දය පාවිච්චි කිරීමට කටයුතු කරන්නැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් ඉල්ලා සිටී.
බල හුවමාරුව සඳහා ලැබෙන ප්රජාතන්ත්රවාදීම අවස්ථාවේ දී යහපත් රටක් උදෙසා ස්වකීය ඡන්දය පාවිච්චි කිරීමේ පැහැර හැරිය නොහැකි වගකීමක් සෑම ඡන්ද දායකයෙක් සතුවම ඇති බව ඔහු අවධාරණය කරයි. රූපවාහිනී වැඩසටහනකට එක් වෙමින් මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා මේ පුරවැසි වගකීමේ ස්වරූපය ඉතාම නිරවුල්ව පැහැදිලි කළේ මෙසේය.
“මේ තේරි පත් වන්නේ ව්‍යවස්ථා දායකයේ අපේ නියෝජිතයො. එක්කෙනෙකුගේ දෙන්නෙකුගෙ නියෝජිතයො නෙමෙයි. ඔහු වෙනුවෙන් ඡන්දය දුන්න ද නැද්ද කියන එක ප්‍රශ්නයක් නෑ. පත් කරන සභිකයා අපි හැමෝම වෙනුවෙන් තමයි නීති හදන්න පාර්ලිමේන්තුවට යන්නේ. ඒ ගැන අවබෝධයක් ඔවුන්ටත් තිබිය යුතුයි. ඔවුන්ගේ අනුගාමිකයන්ටත් තිබිය යුතුයි.”
“හරි… අපි ඡන්ද දුන්නා. අපේ කෙනා ගියා. ගියයින් පස්සේ මට රස්සාව දෙන්න ඕන, මගේ ගෙදර හදන්න ඕන මට උළු කැටේ මට ටකරන් කෑල්ල කියන එක නෙමෙයි මේ තියෙන්නේ. එයා පාර්ලිමේන්තුවට ගියා. ඔහුට නිදහසේ ඒ දේ කරන්න දෙන්න. ඒ සහයෝගය අපි අනික් පැත්තෙන් දෙන්න ඕන. අපි නිශ්ඡිත කාලයකට කාර්යයක් වගකීමක් ඔවුන්ට භාර දිලා තියෙන්නේ. ඒ දේ කරන්න දෙන්න. වැරදිනම් ඔවුන්ව නිවැරදි කරන්න, වැරදියි කියන්න, නිවැරදි දේ කරනවිට උදව් කරන්න ඡන්ද දායකයො විදිහට අපිත් සූදානම් වෙන්න ඕන. එහෙම නැතිව එයා අපේ නෙමෙයි, අපි දන්නෙ නෑ… අපි අඳුනන්නෙ නෑ…. ඊට පස්සේ මොනවා කළත් වැරදියි… එහෙම නෙමෙයි… අපි අවසානයේ දි රටක් විදිහට කල්පනා කරන්න ඕන. මේ රටේ නීතිය හදන තැන. අපි හැමෝගෙම සහයෝගය ඒ ආකාරයෙන් දෙන්න. ඊට ගැලපෙන පාර්ලිමේන්තුවක් සකස් කරන්න. ”
“ඔබ 14 වැනිදා උදේම ගිහින් ඡන්දය පාවිච්චි කරන්න. මොකද එක්කෝටි හතලිස් එක් ලක්ෂ හැත්තෑ දෙදහස් තුන්සිය පනස් හතරටම දැන් වියදම් කරලා ඉවරයි. සල්ලි ගෙවලා නැති වුනාට දරන්න ඕන වියදම් දරලා ඉවරයි. ඔබ ඡන්දය පාවිච්චි කළත් නැතත් ඔබේ ඡන්ද පත්‍රිකාව නිසාම ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාව, යන වාහන, නිලධාරීන්, මේ සියල්ල වැඩි වෙලා තියනවා. අපේක්ෂක කණ්ඩායම් සංඛ්‍යාව වැඩි වුනාම වියදම වැඩි වෙනවා වගේම තමයි. අපි ඡන්ද දායකයො නිසා අපි වෙනුවෙන් රජය දරන වියදම දරලා ඉවරයි. අපි ඡන්ද දාකයෙක් ලෙස නම ලිව්වා නම්, අපි ඡන්ද දායකයො නම්. මේ රටේ පුරවැසියො නම් අපට තියනවා යුතුමක් අප වෙනුවෙන් මේ කාර්ය භාර්යය කරන්න. ඒ නිසා ඒකට සූදානම් වෙන්න. ඒ අවබෝධය ඇතිව ගිහින් ඡන්දය පාවිච්චි කරන්න. අපට අවශ්‍ය වෙන්නේ යහපත් රටක්. ” මේ වනවිට ආරම්භ වී ඇති පාර්ලිමේන්තු මැතිවරණ ඡන්ද විමසීම දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,421ක දී අද පස්වරු 4.00 දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.







