දිනසේන රතුගමගේ –
යාපනයේ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඊයේ (19) චෙන්නායි සිට යාපනයට පැමිණි ගුවන් යානයක් විනාඩි හතළිහක පමණ කාලයක් යාපනය අහසේ පියාසර කොට එය ගොඩ බැස්සවීමට නොහැකි නිසා ආපසු චෙන්නායි බලා පියාසර කොට තිබේ.
යාපනය අන්තර්ජාතික ගුවන් තොටුපලේ නිලධාරීන් සඳහන් කළේ චෙන්නායි සිට යාපනයට ගුවන් යානයක් පැමිණීමට ගත වන කාලයට සමාන කාලයක් එම ගුවන් යානය යාපනය අහසේ පියාසර කරවීමට ගුවන් නියමුවන්ට සිදු වූ බවයි.
යාපනය ගුවන් තොටුපල වටා දැඩි අඳුරු සහගත තත්ත්වයක් තිබීමත් ගුවන් පථය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවීමත් නිසා එම ගුවන් යානයට ගොඩ බැස්සවීමේ පණිවුඩය ලබා දීමට ගුවන් තොටුපල කාර්ය මණ්ඩලයට නොහැකි වී ඇත.
එම අවසරය ලැබෙනු ඇතැයි යන අපේක්ෂාවෙන් විනාඩි හතළිහක පමණ කලයක් ගුවන් යානය අහසේ පියාසර කරවමින් ගුවන් නියමුවන් යාපනය අහසේ සිටියත් එය නොලැබුණු පසුව චෙන්නායි සිට රැගෙන එන ලද මගීන් 39 දෙනා සමග ආපසු චෙන්නායි බලා ගුවන් යානය රැගෙන ගොස් තිබේ.
යාපනයට පැමිණී එම ගුවන් යානයේ දළ ගමන් සටහන රේඩාර් පද්ධතිය ඔස්සේ ලද දර්ශන වලින් ගුවන් තොටුපල සේවකයින් විසින් පරිගණක චිත්‍රයකට නගා තිබේ.