චීන පොහොර ලංකාවට රැගෙන ඒම සඳහා අනුමැතිය ලබා දීමට අවශ්‍ය මූලික නිර්ණායක අන්තර්ගත කර නීතිපති දෙපාර්තමේන්තුව විසින් සකස් කළ බව සඳහන් ලියවිල්ලක් අවශ්‍ය සංශෝධනය කර අවසන් අනුමැතිය ලබා ගැනීම සඳහා චීනයේ ෂින්ඩාවෝ සී වීන් බයෝටෙක් පොහොර සමාගමට යවා ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙළිදරවු කරයි.
පෙරේදා (23) චීනයට යවනු ලැබූ එම ලේඛණය අවශ්‍ය සංශෝධන සහතිව චීනයෙන් අද එවා ඇති බව වාර්තා වේ.
මෙම වාර්තාව ලංකාවට ලැබී ඇත්තේ ලංකාවේ දේශපාලන අධිකාරිය චීන පොහොර නැව සම්බන්ධවත්, දැනට උසාවියේ විමසන නඩු කටයුතු සම්බන්ධ මැදිහත්වීම් සිදුවිය යුතු ආකාරය සම්බන්ධවත් සාකච්ඡා පැවැත්වෙමින් ඇති අතරය.
මෙම ලේඛනය සම්බන්ධව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වාගෙන් ලංකාසර කළ විමසීමක දී ඔහු ප්‍රකාශ කළේ මෙම ලේඛනය ගැන තවම තමන් නොදන්නා බවත්, එය ක්‍රියාත්මකවන ආකාරය සම්බන්ධව තමන්ට අදහසක් නැති බවත්ය.
කුමන තත්වයක් යටතේ වුවද රටට අගතියක් වන කිසිදු ලියැවිල්ලකට තමන් අත්සන් තබන්නෙ නැති බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා රටට සහතික වුනේය. ඔහු මෙසේත් පැවසුවේය.
“චීන පොහොරවලට ගෙවන්න අවශ්‍ය ආකාරය ගැන උසාවියෙන් තීරණ වෙයි. මේ නීතිපති දෙපාර්තමේන්තුව ලියැවිල්ල ගැන දැනුවත් නෑ. මොන විදිහට කුමන රටකින් මේ රටට පොහොර ගෙනාවත් අද වනතුරු ක්‍රියාත්මකවන්නේ ශාඛ නිරෝධායන මධ්‍යස්ථානයේ නීති රෙගුලාසි සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නීති රෙගුලාසි පමණයි.“
“ඒ සියලු නීති රීති පාර්ලිමේන්තු පනත් හරහා සම්මත වූ ඒවා. මට බලය ඇත්තේ අදාල නීති රීති රෙගුලාසි අනුව කටයුතු කිරීමට පමණයි. කවුරු කුමණ අන්දමකින් ලියකියැවිලි සකස් කළත් එය රටට සුදුසුද නැද්ද යන්න විද්‍යාත්මකව සලකා බලා තීරණ ගැනීම තමයි මගේ වගකීම.“ අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.