-
නීති විරෝධීව නිමල් සිරිපාල පත් කරගෙන මේ යන ගමනෙ දි ඉතිරි වෙන්නේ නිදිකුම්බා නායකයෙක් යටතේ රජයට පවරාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක්…
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මෛත්‍රිපාල සිරිසේනට එරෙහිව ගොනු කර ඇති නඩුවේ වගඋත්තර කරුවෙක් කර සිටින නිමල් සිරිපාල ද සිල්වා පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා බවට පත් කරන්නේ කුමණ පදනමකින්දැයි ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකර අද මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රශ්න කළේය.
දේශපාලන ජීවිතයේ යන්නට හැකි ඉහළම තැනට ගිය පසුත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් අත් නොහැර එල්ලී ගෙන මේ ප්‍රදර්ශනය කරන්නේ ඇයගේම භාෂාවෙන් කිවහොත් මළපෙරේතකම යැයි කී දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා අවස්ථා ගණනක දී පක්ෂය දෙකඩකළ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මෙවර උත්සාහ කරන්නේ පක්ෂය වළ දැමීමට බව පැවසුවේය.
දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මෙසේ ද පැවසුවේය.
“ කොළඹ දිසා අධිකරණයේ නඩුවක් පවරලා තියනවා… චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය තමයි මේ නඩුව පවරන්නේ. ඒ නඩුවේ තුන්වැනි විත්තිකරු වෙන්නේ නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා. හතරවන වගඋත්තර කරු ජනාධිපති නීතිඥ ෆයිස්ර මුස්තාපා. මේ දෙන්නම ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරු විදිහට තමයි දැන් වැඩ කරන්නේ.
ඒකෙ වගඋත්තර කරුවෙක් වන නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමාව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති කරනවා. මොකක්ද එතකොට මේකේ වැදගත්කම. ඔහුටත් විරුද්ධව නේ මේ තහනම අරන් තියෙන්නේ එහෙමනම්.
මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට පක්ෂයේ සභාපති ලෙස වැඩ කරන්න බැරිනම් නිමල් සිරිපාල ද සිල්වා මහත්මයා කොහොමද පක්ෂයේ වැඩ බලන සභාපති වෙන්නේ. එතුමා නිදාගෙන හිටිය ද දන්නේ නෑ එතුමා සභාපති කරනකොට. නැතිනම් එතුමා දැනගන්න ඕන නෙ. අපි දන්නාව එතුමට නින්ද යනවා.
මේ කරන්න හදන්නේ 18 වැනිදාට නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමත් ෆයිසර් මුස්තාපා මැතිතුමත් මෛත්‍රීපාල සිරිසේන මහත්තයට තියන චෝදනා පත්‍රය පිළිගන්න තැනට ඇෆිඩවිට් එකක් දීලා වැඩේ පටන් ගන්න. මේ දෙන්නව දාන්නේ ඇයි. ඉදිරි කුමන්ත්‍රණකාරී ක්‍රියාවලියකට සම්බන්ධ කරගැනීම සඳහා.
එක පැත්තකින් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියත් එක්ක කුමන්ත්‍රණ කල්ලිය සම්බන්ධ වෙනවා. අනික් පැත්තෙන් නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා, ෆයිසර් මුස්තාපා මැති තුමා, මහින්ද අමරවීර මැතිතුමා ලසන්ත අලගියවන්න මැතිතුමා සහ දුමින්ද දිසානායක මැතිතුමා යන මේ සියලු දෙනාම ආන්ඩුව එක්ක කටයුතු කරන කුමන්ත්‍රණ ක්‍රියාවලියේ නායකයො බවට පත් වෙලා තියනවා.
මේ ඒක පාර්ශවික නඩු තීන්දුවත් එක්ක අද ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට මැයි දිනය තියාගන්න හම්බවෙන්නේ නැ. ශ්‍රි ලංකා නිදහස් පක්ෂය මරා ගන්නවා කියන එක තමයි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය පක්ෂය ගොඩගන්නවා කියලා කරන කුමන්ත්‍රණයේ ප්‍රතිඵලය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අපි බොහොම ගෞරවයෙන් කියනවා කරුණාකරලා මේවට බය වෙන්නෙ නැතිව සිය දහස් ගණනින් ඇවිත් මේක මුදාගන්න කටයුතු කරන්න. මේවා ආණ්ඩුවෙ කුලී හේවායින් විසින් කරන වැඩ බවට පත් වෙලා තියෙන්නේ.
ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකුට බෑ දේශපාලන මණ්ඩලයක් කැඳවන්න. මොකද ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරු හය දෙනෙක් ඉන්නවා පක්ෂයේ. එහෙමනම් හය දෙනාටම කැඳවන්න පුලුවන් වෙන්න ඕනනේ . මොකද නිමල් සිරිපාල ද සිල්වා මහත්තයා කියලා ඒක ලොකු එකක් ද. නෑනේ. කොහෙවත් යන කට්ටියකට අගුපිල්වලට ගිහිල්ලා දේශපාලන මණ්ඩල කැඳවන්න පුලුවන් ද?…
ඇත්ත කතාව චන්ද්‍රිකා මැතිණිය පක්ෂය කී පාරක් කැඩුව ද කියන්න. කී පාරක් මේ පක්ෂය දෙකට බෙදුව ද?… දේශපාලනයේ යන්න තියන උඩම තැනට ආවට පස්සේ තව කොහෙ යන්න ද දෙයියනේ… ඇයි මේවා අතහරිනේ නැත්තේ. චන්ද්‍රිකා මැතිනියගෙ වචනයෙන්ම කියනවා නම් මළපෙරේතකම.
ඊට පස්සේ ඊලඟ 18 වැනිදා ඒ දෙන්නම ඇෆිඩවිට් දීලා කිව්වොත් එහෙම මේ දාපුව ඔක්කොම සත්‍යයයි කියලා එතකො ඉතින් නිදකුම්බා නායකයෙකු යටතේ නිදිකුම්බා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයක් තමයි ඉතිරි වෙන්නේ… රජයට පවරා ගත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයක් තමයි ඉතිරි වෙන්නේ… නිදිකුම්බා නායකයෙක් යටතේ.
දයාසිරි ජයසේකර කීවේය.