බීබීසී –
ජුලි 16 වැනිදා ඕමාන මුහුදේදී අනතුරට පත්වූ ඉන්ධන ප්‍රවාහන නෞකාවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් අතුරින් ශ්‍රී ලාංකිකයෙකු ඇතුළු 9 දෙනෙකු බේරා ගෙන තිබේ.
ඕමානයේ සමුද්‍රීය ආරක්ෂක ඒජන්සිය සිය නිල X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළේ එක් කාර්ය මණ්ඩල සාමාජිකයෙකු අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් අතුරුදන්ව ඇති සෙසු කාර්ය මණ්ඩල සාමාජිකයින් 6 දෙනා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවත්ය.
මුදා ගත් පිරිස අතර ලාංකිකයෙකුත්
ඉන්දීය නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශකවරයාගේ නිල X ගිණුමට අනුව අනතුරට පත්වූ නෞකාවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් 09 දෙනෙකු බේරා ගැනීමට ඉන්දීය නාවික හමුදාවට අයත් INS Teg නෞකාව සමත්ව ඇති බවත්, එම පිරිස අතර එක් ශ්‍රී ලාංකිකයෙකු ද සිටින බවත් තහවුරු කර තිබේ.

මුදා ගනු ලැබූ සෙසු නෞකා කාර්ය මණ්ඩල සාමාජිකයින් 08 දෙනා ඉන්දීය ජාතිකයින් බව ඉන්දීය නාවික හමුදාව පවසයි. ඕමාන බලධාරීන් සඳහන් කරන පරිදි මෙම නෞකාව එරට ඩියුකම් වරායේ සිට යේමනයේ ඒඩ්න් වරයා බලා යාත්‍රා කරමින් තිබී ඇත.
කොමොරෝස් දුපත් ධජය යටතේ යාත්‍රා කළ මීටර් 117ක දිගින් යුත් ‘ප්‍රෙස්ටීජ් ෆැල්කන්’ නෞකාව ඕමානයේ, රාස් මද්‍රකාහි සිට නාවුක සැතපුම් 25ක් දුරින් වූ මුහුදු කලාපයේ දී පෙරළී ගියේ ජුලි මස 16 වෙනිදාය. ( Mirror Now වෙබ් අඩවිය සිද්ධිය වාර්තා කර තිබූ අයුරු පහත දැක්වේ)
අනතුරට ලක්වන අවස්ථාවේදී එම නෞකාවේ ඉන්දීය ජාතිකයින් 13 දෙනෙකු සහ ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු සේවයේ නියුතුව සිට ඇත.
රළු මුහුද සහ තද සුළං සහිත අභියෝගාත්මක කාලගුණික තත්ත්වයන් යටතේ ඉන්දියානු සහ ඕමාන නාවික හමුදා මෙම සෝදිසි මෙහෙයුමේ නිරතව සිටියහ.







