කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ භූගත නඩු භාණ්ඩ ගබඩා කාමරය දෙසතියක් තුළ දෙවන වරටත් සොරුන් විසින් ඊයේ (17) අළුයම් කාලයේ දී බිඳ ඇතැයි කෙසෙල්වත්ත පොලිසිය පවසයි.
මෙම භූගත නඩු භාණ්ඩ ගබඩාවේ ඇත්තේ පරණ නඩු ලෙඛන, ගිනි අවි සහ රන් භාණ්ඩ බව පොලිසිය කියයි.
පසුගිය 06 වැනිදා මුල් වරට මෙම නඩු භාණ්ඩ ගබඩාව බිඳ තිබිණි. කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 01 නඩු භාණ්ඩ භාර රෙජිස්ට්‍රාවරිය පසුගිය 06 වැනිදා මේ සම්බන්ධව කෙසෙල්වත්ත පොලිසියට මුල්ම පැමිණිල්ල කර තිබිණි.
දෙවැනි වරටත් මෙම ගබඩාව බිඳ ඇති බව පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත්තේ ඊයේ දිනයේ ය.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ආරක්ෂාවට පොලිස් නිලධාරියෙක් සහ පුද්ගලික ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනෙක් යොදවා තිබිය දි මෙසේ භූගත නඩු භාණ්ඩ ගබඩාව බිඳ දමා තිබේ. එය යකඩ දොරවල් දෙකක් ඉබි යතුරු හතරකින් අගුලු ලා තිබිය දී එම ඉබිබන් කඩා කොල්ලකරුවන් නඩු භාණ්ඩ ගබඩාවට ඇතුළු වී ඇති අයුරුත්, ඉන් පසු අලුත් ඉබි යතුරු දමා ඇති අයුරුත් කෙසෙල්වත්ත පොලිසිය නිරීක්ෂණය කර ඇත.
කාලාන්තරයක් තිස්සේ මහේස්ත්‍රාත් අධිකරණයේ සවිකර ඇති සීසීටීවී යන්ත්‍ර ද ක්‍රියා විරහිතබවට කරුණු අනාවරණය වී ඇත
එමෙන්ම හෙළි වී ඇත්තේ මෙම නඩු භාණ්ඩ ගබාඩාවේ ද්‍රව්‍ය නිශ්චිත ලේඛණගත කිරීමක් සිදුකර නැති බවය.
ඒ අනුව යම් නඩු ගොනුවක් හෝ ගිනි අවියක් අස්ථානගත වූයේ ද යන්න සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරිමත් සංකිර්ණ කටයුත්තක් වී ඇතැයි පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධව විමර්ශනයක් කරමින් ඇඟිලි සලකිනු නිලධාරීන් මෙන්ම සෙකෝ නිලධාරීන් ද ස්ථානීය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.







