මනම්පිටිය – නිමල් ජයරත්න-
-
ලංකාවෙ සුලු හා මධ්‍ය පරිමාණ මෝල් 1000ක් තිබුණා. මේ ගැසට් නිවේදනයෙන් පස්සේ මොල් 750ක් වැහිලා ගියා…
-
සියයට 55ක් වී තොග අලෙවි නොකර ගොවීන් ලඟ…
-
ආණ්ඩුව ගැසට් ගහලා හදිසි නීතිය දාගෙන පනවා ඇති පාලන මිල නිසා හාල් කිලෝවකින් නිශ්පාදකයාට රුපියල් 6ක් ශුද්ධ ලෙස පාඩුයි…
-
සාධාරණ මිල නැති නිසා ගොවීන් වී තොග සන්තකයේ තබාගෙන… ආණ්ඩුවෙ ගබඩාවල දවසකටවත් සහල් නෑ… වී තොග තියෙන්නේ පුද්ගලික වෙළෙන්දන් සහ ගොවීන් ලඟ
-
රට ඇරිය ගමන් විශාල සහල් හිඟයක් ඇති වේවි. සාකච්ඡා කරලා මේ ගැටලුව විසඳගනිමු… ගැසට් එක සංශෝධනය කරන්න.. අපිට සාධාරණ මිලක් දෙන්න…
තමන් නිශ්පාදනය කරනු ලබන සහල් සඳහා රජයෙන් ඉල්ලා සිටින සහතික මිළ ලබා නුදුනහොත් ලබන සතියේ සිට සහල් නිශ්පාදනයෙන් ඉවත් වන බව ශ්‍රී ලංකා සහල් නිශ්පාදකයින්ගේ සංගමය පවසයි.
පොලොන්නරුව ගිරිතලේ අග්බෝ හෝටලයේ දී අද (26) සවස 2ට පැවති මාධ්‍ය හමුවක දී ශ්‍රී ලංකා සහල් නිශ්පාදකයින්ගේ සංගමය මේ බව නිවේදනය කළේය.
මාධ්‍ය හමුව අමතමින් ශ්‍රී ලංකා සහල් නිශ්පාදකයින්ගේ සංගමයේ සභාපති සුරාජ් ජයවික්‍රම මෙසේ පැවසීය.
“නාඩු සහල් කිලෝවකට රුපියල් 110ක් ද සම්බා සහල් කිලෝවකට රුපියල් 130ක් ද කීරී සම්බා කිලෝවකට රුපියල් 160ක් ද ලබා දෙන ලෙස මීට පෙර ජීවන වියදම් පිළිබඳ කමිටුවට සංගමයක් ලෙස අප ලිඛිතව දන්වා සිටියා. එහෙත් ඔවුන් අපට ඇහුම්කන් දෙන්නෙම නෑ,. අපි මේ ඉල්ලීම කළේ නිශ්පාදකයා සහ පාරිභෝගිකයා දෙදෙනාම ආරක්ෂා කරන සාධාරණ ආකාරයට.“
“ කියනන කණගාටුයි. වත්මන් රජය බලයට පත් වීමෙන් පසු සහල් නිශ්පාදකයන් ඉලක්ක කරගෙන නිකුත් කළ ගැසට් නිවේදනය නිසා ශ්‍රී ලංකාවේ සහල් නිශ්පාදනය කරන මොල් 1000 න් 750ක් පමණ මේ වනවිට වැසිලා තියනවා. “
“ලංකාවේ වී නිශ්පාදනය කරන පළාත්වල ගොවීන් ගේ අස්වැන්නෙන් මෙවර 55%ක් පමණ අලෙවි නොකර ගොවීන් සන්තකයේ තබාගෙන ඉන්නවා. ඔවුන් එහෙම කරන්නේ රජය ගොවියාට සහ කුඩා හා මධ්‍ය පරිමාණ වී සහ සහල් මෝල් හිමිකරුවන්ට පැනවූ ගැසට් නිවේදනය නිසා. හදිසි නීතිය යටතේ පාරිභෝගික සේවා අධිකාරිය ක්‍රියා කරන අත්තනෝමතික පිළිවෙතට තමයි මේ මිනිස්සු උත්තර දෙන්නෙ.“
“මේ වනවිටත් සහල් පාරිභෝගිකයින්ට නියමිත පරිදි සහල් ලැබෙන්නෙ නෑ. ඉදිරියේ දී රට තුළ උග්‍ර සහල් හිඟයක් ඇතිවන්න පුලුවන්. ඊට පෙර හැකි ඉක්මනින් අපට රජය සමග සාකච්ඡාවක් ලබා දෙන්න. ඇතිවෙලා තියන ගැටලුව විසඳන ලෙස සංගමයක් ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිනවා. “ ශ්‍රී ලංකා සහල් නිශ්පාදකයින්ගේ සංගමයේ සභාපති සුරාජ් ජයවික්‍රම කියා සිටියේය.
මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා සහල් නිශ්පාදකයින්ගේ සංගමයේ ලේකම් මුදිත් පෙරේරා පැවසුවේ රටේ වී සංචිත තිබිය දී ආණ්ඩුවට එය කළමනාකරණය කරගත නොහැකි බවය.
“ ලංකාවේ දිනකට සහල් පරිභෝජනය කිලෝ ලක්ෂ 50 -60ක් වෙනවා. මේ සහල් නිශ්පාදනය කරන්න දිනකට වී කිලෝ කෝටියක් පමණ යෙදවිය යුතුයි. තවත් මාස පහකට වී තොග ලංකාවෙ තියනවා. “
“ ඒත් රජය සතුව ඇත්තේ තවත් සහල් තොග ලක්ෂ පනහක් පමණයි. එය දිනකටවත් ප්‍රමාණවත් නෑ. වී සහල් තොග පවතින්නේ පුද්ලික වෙළෙඳුන් සහ ගොවීන් අතයි. රජය මේ පනවා තිබෙන ගැසට් නිවේදනය නිසා සහල් කිලෝවකින් නිශ්පාදකයාට සිදුවන ශුද්ධ පාඩුව රුපියල් 06ක්. මේ තත්වය ගැන සාධාරණව කල්පනා කරලා බලන්න කියලා අපි රජයෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. අපි ඉල්ලන්නෙ මේ ගැසට් නිවේදනය සංශෝධනය කරන්න. සාධාරණ මිලක් දී නිශ්පාදකයා සහ පාරිභෝගිකයා යන දෙපාර්ශවයම ආරක්ෂා කරගන්න. “