පෑලියගොඩ දුටුගැමුණු මාවතේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් සම්බන්ධයෙන් සැකපිට පෑලියගොඩ පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන රදවාගෙන සිටි කාන්තාවක් අද අළුයම පොලීසිය තුළදී මියගොස් ඇත.
එම කාන්තාව අවුරුදු 58 ක් පමණ වයස තැනැත්තියක් බව පොලීසිය කියයි.
මෙම කාන්තාව සමග ඇගේ දියණියත් පුතාත් ඇතුළු පස් දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.
මේ අය නිවසකට පැන පහරදී දේපොල කොල්ලකෑ බවට පහරකෑමට ලක්වූ අය පොලීසියට කර ඇති පැමිණිල්ලෙහි සදහන් වන බව උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කළේය.
ඊයේ සවස ඒ සම්බන්ධයෙන් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයේ රදවාගෙන සිට ඇති බවත් අද අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතව තිබුණු බවත් එම නිලධාරියා කීය.
දියණිය සමග ඇය පොලිස් ස්ථානයේ බංකුවක සිටි බවත් ඇය එකවරම බංකුවෙන් බිමට වැටී මියගොස් ඇති බවත් එම නිලධාරියා සදහන් කළේය.
ගැටුමට සම්බන්ධ දෙපාර්ශවයම ඥාතීන් බව මේ වන විට හෙළිවී ඇති බවත් කාලයත් තිස්සේ පවතින ආරවුලක් ගැටුමට මුල්වී ඇති බවත් එම නිලධාරියා සදහන් කළේය.
මෙම මරණය සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට සහකාර පොලිස් අධිකාරීවරයෙකුගෙන් සමන්විත පොලිස් කණ්ඩායමක් පත්කර ඇතැයි කැලණිය කොට්ඨාශයභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් ඩයස් සදහන් කළේය.