ගල්කිස්ස උසාවියේ විත්ති කූඩුවේ සිටි චූදිතයෙකුට අධිකරණ භූමියේ දී වෙඩි තබා පලා යන්නේ දැනට ඩුබායිහි සැඟවී සිටින නදුන් චින්තක නොහොත් හරක්කටා නැමැති පාතාල අපරාධකරුගේ ගෝලයෙක් බව මේ වනවිට විමර්ශන කණ්ඩායම්වලට තොරතුරු ලැබී තිබේ.
ඉලක්ක වූ පුද්ගලයා හරක්කටා සමග එකට මත්කුඩු ජාලයේ රැඳී සිටිමින් විශේෂ කාර්ය බලකායට ඔත්තු සපයා ඔහුගේ මත්කුඩු හසුකරදීමේ සිද්ධියක් හරක්කටා විසින් හෙළි කරගෙන තිබේ.
ඒ සමගම මෙම පුද්ගලයා ඝාතනයට අවස්ථා ගණනාවක දී හරක්කටා සිය වෙඩික්කරුවන් යොදවා තිබේ. එබැවින් ඔහු සැඟවී සිට ඇත.
එහෙත් වර්ෂ 2017 සිට මේ පුද්ගලයාට එරෙහිව නඩුවක් ගල්කිස්ස අධිකරණයේ විභාග වෙමින් තිබේ. ඒ රුපියල් 48500ක මුදල් වංචාවක් සම්බන්ධයෙනි.
රණවිරු සේවා අධිකාරිය මගින් පැවැත්වූ ලොතරැයි දිනුම් ඇදීමකින් ත්‍රිරෝද රථයක් දිනා ඇති බවකියා එම මුදල වංචා කළ බවට වැල්ලවත්ත පොලිසිය මගින් එම නඩුව ගොනු කර තිබිණි. මෙම නඩුව අද ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් කෝසල සේනාධීර ඉදිරියේ විභාගයට ගැනුනේය.
එම නඩුවට පෙනී සිටීමට සැඟවී සිට පැමිණෙන මෙම තැනැත්තාට සිය ඔත්තු කරුවෙක් සේ සලකා නිල නොවන මට්ටමින් විශේෂ ආරක්ෂාවක් සැපයීමට විශේෂ කාර්ය බලකාය කටයුතු කර තිබිණි.
මෙම තැනැත්තා උසාවිය තුළට ගිය අවස්ථාවේ දී ආයුධ සහිතව උසාවි භූමියට ඇතුළු විය නොහැකි නිසා විශේෂ කාර්ය බලකායේ පිරිස උසාවි භූමියෙන් පිටත රැඳී සිට ඇත.
එම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන උසාවිය තුළ දී ඔහුට වෙඩි තබා ඝාතනය කිරීමට ඝාතකයෙක් යෙදවීමට හරක්කටා විසින් කටයුතු කර ඇතැයි වාර්තාවේ.
අද දහවල් 1.45ට පමණ නඩුව විභාගයට ගැනුණු අවස්ථාවේ දී අධිකරණ ශාලාව මැදට පැමිණ සිදුකළ මෙම වෙඩි තැබීමෙන් ඉලක්කගත පුද්ගලයාගේ හිසට ඉහළින් උණ්ඩය ගමන් කර බිත්තියේ වැදී ඇත. මේ අවස්ථාවේ දී විත්ති කූඩුවේ පුද්ගලයින් දෙදෙනෙක් සිට ඇත.
මෙම වෙඩි තැබීමෙ ඉලක්කය යළිත් වැරදී ගිය අතර ඝාතකයා පලා ගියේය. එම අවස්ථාවේ දී මහේස්ත්‍රාත්වරයාගේ ආරක්ෂාවටත් උසාවි භූමියේ ආරක්ෂාවටත් පොලිස් නිලධාරීන් 20කට වැඩි පිරිසක් අධිකරණ භූමියේ සිට ඇත.
වෙඩි තබා පලා යනවිට ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන්ට ද වෙඩික්කරුවා වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.
උසාවියේ කටයුතු සුළු වෙලාවකට නැවතී තිබිණි. සිද්ධිය පිළිබඳ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
වෙඩි තැබීමේ සිද්ධිය දෙරණ රූපවාහිනිය වාර්තා කළ ආකාරය –