නොරොච්චෝලේ බලාගාරයෙහි ජනන යන්ත්‍රය යළි පද්ධතියට එක් කරන ලබන 22 දක්වා තාප විදුලි ජනන යන්ත්‍ර සඳහා අවශ්‍ය ඉන්ධන අයි.ඕ.සී සමාගමෙන් ලබා ගැනීමට සූදානම් බව විදුලිබල ඇමති ගාමිණි ලොකුගේ අද (17) පැවසුවේය.
රටේ තෙල් ගෙන්වීමේ ඒකාධිකාරිය ඇති ඛනිජතෙල් නීතිගත සංස්ථාව විදුලිබල මණ්ඩලයේ ඇති බලාගාර සඳහා තෙල් ගෙන්වීමට බැඳී සිටින බැවින් ඒ පිළිබඳ අමුතු මතක් කිරීම් කිරීමට අවශ්‍ය නැති බවත් ලෝකයටම බලපා ඇති ඩොලර් අර්බුදය සම්බන්ධව ගම්මන්පිල ඇමති විසින් කියන්නට අවශ්‍ය නැති බවත්ය.
බලශක්ති ඇමතිවරයා කර තිබූ ප්‍රකාශවලට පිළිතුරු දෙමින් විදුලිබල ඇමති ගාමිණි ලොකුගේ මෙසේ ද පැවසුවේය.
“ඛණිජතෙල් ඇමතිතුමාගෙන් ඉල්ලන්න දෙයක් නෑ. තෙල් සංස්ථාවට තමයි ලංකාවෙ තෙල් බෙදා හැරීමේ ඒකාධිකාරිය තිබෙන්නෙ. තෙල් ආනනයන කිරීමේ ඒකාධිකාරිය තියෙන්නෙ. ඒ නිසා විදුලි බල මණ්ඩලයේ තාප බලාගාරවට අවශ්‍ය ඇනවුම හැමදාම ඛණිජතෙල් නීතිගත සංස්ථාවට දීලා තිබෙන්නේ.“
“ ඒ වගේම ඩොලර් හිඟය නිසා ඛණිජතෙල් නීතිග සංස්ථාවට තෙල් ලබා දීමේ දැවැන්ත අර්බුදයක් තියනවා කියලා කියනවා. ගම්මන්පිල ඇමති තුමා ඒක කියන්න ඕන නෑ. ඒක ලෝකෙ හැම රටකම තියන තත්වයක්. අපේ රටටත් ඒක බලපාලා තියනවා. තෙල් මිල වැඩි වෙලා තියනවා. “
මේ තත්වය උඩ අපි විවිධ විකල්ප මාර්ග ගැන කල්පනා කරමින් ඉන්නේ. අපි බලනවා අයි.ඕ.සී සමාගමෙන් හරි තෙල් ටිකක් ගන්න පුලුවන් ද කියලා. මම විදුලිබල මණ්ඩලයේ සභාපතිතුමාට කිව්වා ඒ ගොල්ල එක්ක හෙට හරි සාකච්ඡාවක් පවත්වන්න කියලා. මමත් ඕන නම් එන්නම් කියලා මා කිව්වා.“
“දවස් තුනක් සඳහා විදුලි කැපෙන්නෙ නෑ කියලා දැන් සහතික කරනවා. 22 වනතුරු අපි කොහොමින් හරි තෙල් හොයාගන්නවා දුවන්න.“ විදුලිබල ඇමතිවරයා රූපවාහිනී සාකච්ඡාවකට එක් වෙමින් කීවේය.
මේ සම්බන්ධව අද පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පවත්වන අතර ඊට විදුලිබල මණ්ඩලයේ සහ ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ බලධාරීන් එක් වීමට නියමිතය.