ගම්පහ නගරයේ පිහිටි “සිතුසර” නමැති පුද්ගලික අධ්‍යාපන ආයතනයේ කාන්තා වැසිකිළියක් තුළ සී.සී.ටී.වී.කැමරාවක් සවිකර තිබියදී සොයා ගත් බවට ගම්පහ පොලිසිය අද සවස ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න හමුවේ කරුණු වාර්තා කළේය.
පොලිසිය අධිකරණය හමුවේ පැවසුවේ වර්ෂ 2023 අ.පො.ස.(උසස් පෙළ )විභාගයට පෙනී සිටීමට නියමිත සිසුවියකගේ පියකු විසින් කරන ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ අරඹා ඇති බවය.
පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් පැමිණිලිකරු සිය පැමිණිල්ලේ සඳහන් කර ඇත්තේ තමන්ගේ දියණිය ‘‘සිතුසර‘‘ නැමැති පුද්ගලික අධ්‍යාපන ආයතනයේ අමතර පන්ති සඳහා සහභාගි වන බවත් එහි වැසිකිළියට ගිය අවස්ථාවේ රූගත කෙරෙන කැමරාවක් වැසිකිළිය තුළ තිබෙනවා දැක ඒ සම්බන්ධව තම මිතුරියන්ට පවසා ඇති බවත්ය.
සිද්ධිය වාර්තා වීමත් සමග එම වැසිකිළියේ සවි කර තිබූ කැමරාව පුද්ගලික පන්ති පවත්වාගෙන යන අයගේ මව විසින් ගලවාගෙන යන ආකාරය සිසුවියන් දැක ඔවුන්ගේ දෙමව්පියන් දැනුම්වත් කර ඇති බවද පොලිසිය කීවේය.
පොලිසියට ලද පැමිණිල්ල අනූව සිදුකළ පරීක්ෂණයේදී එම ගොඩනැගිල්ල අයිති හිමිකරු මෙන්ම එම අධ්‍යාපන ආයතනය පවත්වාගෙන යන අය ගේ බිරිය විසින් එම සී.සී.ටී.වී. කැමරාව පොලිසිය වෙත බාරදී ඇති බව ද අධිකරණයේදී සඳහන් විය .
වැසිකිළිය තුළ එම කැමරාව සවි කරන ලද පුද්ගලයා කවුරුන්ද යන්න පැමිණිලිකරු නොදන්නා බවත් දරුවන්ගේ ආරක්ෂාව පතා පැමිණිලිකරු පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත් පොලිසිය කීය. ලද පැමිණිල්ල සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බව ගම්පහ පොලිසිය අධිකරණය හමුවේ වැඩිදුරටත් කරුණු දැක්වීය
එම ගොඩනැගිල්ල හිමිකරු සහ අධ්‍යාපන ආයතනය පවත්වාගෙන අයවලුන් ඇතුළු එම උපකාරක පන්තියට සහභාගි වන සිසු සිසුවියන් රැසකගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව ද පොලිසිය අධිකරණය හමුවේ කරුණු දැක්විය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට අධිකරණයෙන් පොලීසියට නියම කෙරුණි .
ලංකාදීප –