මේ වන විට කෘෂිකර්මාන්තයට සිදුවිය යුත්ත සිදුවී හමාරය. කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා ද කෘෂිකර්ම ඇමතිවරයා ද පවසන පරිදි ඉදිරියේ ඇති වෙන ආහාර හිඟය මැඩපැවැත්වීම පිණිස කොන්දේසි රහිතව වගා සංග්‍රාමයක නිරත විය යුතුය. එසේ වගා කිරීමට නම් බීජ රසායනික පොහොර කාබනික පොහොර සහ කෘමිනාශක සැලකිය යුතු මට්ටමකින් වත් තිබිය යුතුය. නමුත් ශ්‍රී ලංකාවේ ආනයනික පොහොර සමාගම් පවසන පරිදි මේ වන විට පොහොර ආනයනය කිරීම සඳහා ඒ ඒ සමාගම් වෙත ගැටලු රැසක් මතු වී තිබේ මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී සීඅයිසී කෘෂි ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ වරුණ මඩවනආරච්චි දැක්වූයේ මෙවන් අදහසකි
-
ප්‍රශ්නය – ගොවීන්ට දැනට පවතින ප්‍රධානම ප්‍රශ්නය යූරියා නොමැති වීම ඊට හේතුව කුමක්ද ?
පිළිතුර – රජය විසින් ඉකුත් වසරේ පැනවූ ආනයනික රසායනික පොහොර තහනමක් මත යූරියා ගෙන්වීම නතර කෙරුණා. නැවතත් රජය විසින් රසායනික පෝර භාවිතය සදහා අවසර ලබා දුන් පසු කඩිමුඩියේ ඉකුත් නොවැම්බරයේදී සීඅයිසී සමාගම පමණක් ඩොලර් මිලියන 12ක රසායනික පොහොර මෙට්‍රික් ටොන් විසිදෙදාහක් පමණ ප්‍රමාණයක් ආනයනය කළා.
ඒ වන විට ඩොලරය තිබුනේ 203, 205 වැනි අගයක. පොහොර හිඟයෙන් පීඩිත මිනිස්සු පොහොර මිලදී ගන්න පෙළඹුණා. ඒ අනුව මාර්තු වන විට ගෙන්වූ පොහොර විකුණ ගන්න හැකියාව ලැබුණා. ණයවර ලිපි වලට අනුව ඒ සඳහා මුදල් ගෙවීමට නියමිතව තිබුණේ මාර්තු අප්‍රේල් සහ මැයි කාලයෙ.. ඒ වන විට ඩොලරයේ අගය 360 ඉහළ ගිහින්.
මේ තත්ත්වය යටතේ සෑම සමාගමක් ම පාහේ දරුණු මූල්‍ය අර්බුදයක පැටලිලා.
නැවත පොහොර ආනයනය සඳහා පුද්ගලික පොහොර සමාගම් වලට හැකියාවක් නැත්තේ ඒ නිසා.
-
ප්‍රශ්නය – රජය මේ ගැටලුවට මැදිහත් වන බව ඇමතිවරයා කියා සිටියා.
පිළිතුර- ඇමැතිවරයා පැහැදිලිව කියා සිටියා මේ වන විට පොහොර සමාගම් වලට රජය විසින් රුපියල් මිලියන 23000 ක මුදලක් ගෙවීමට ඇති බව. ඒ මුදල මේ වන තුරු ගෙවාගන්න රජයට හැකියාවක් ලැබුණේ නැහැ. සීඅයිසී සමාගමට පමණක් රුපියල් මිලියන 5300 ගෙවන්නට තිබෙනවා. මේ මුදලින් අඩක් හෝ ගෙවා සමාගමට සහනයක් . ලබා දෙන්නේ නම් නැවත පොහොර ගෙන්වීමේ සැලසුමක් සඳහා අත පෙවිය හැකියි.
මොකද සමාගම් විදිහට බැංකුවලින් ලබා ගන්නා ණය සීමාව මේ වන විට ඉක්මවා ගොස් තිබෙනවා. බැංකු කිසිවෙක් ණයක් ලබා දෙන්න ඉදිරිපත් වන්නේ නැහැ මේ තත්ත්වය යටතෙ. පොහොර සමාගම් සියල්ලම එකතු වී හෝ පොහොර ආනයනය කර ගත නොහැකිව හිර වී සිටිනවා.
-
ප්‍රශ්නය – රජය පැහැදිලිව කියා සිටිනවා ඉන්දියාවෙන් සහ වෙනත් රටවලින් පොහොර ගෙන්වා යල කන්නයේ වගාවට ගොවියාට පහසුකම් සලසා දෙන බව.
පිළිතුර – ඇත්ත වශයෙන්ම මේ වෙලාවේ කරන්න ඕන රජයක් විදිහට මිත්‍ර රටවල් වලින් පොහොර ගෙන්වා ගැනීම තමයි.
මොකද යල කන්නෙට මේ වන විට පොහොර අත්‍යවශ්‍යවී තිබෙනවා. යල කන්නයේ අස්වැන්න රැක ගන්න බැරි වෙනව කියන්නේ අපි විශාල අර්බුදයකට මුහුණ දෙනවා කියන එක තමයි.
ආහාර අර්බුදය පිළිබඳ ලෝකයේ කතිකාවක් ඇති වන විට ඉන්දියාව තමන්ගේ පොහොර සංචිත රඳවා ගැනීමට කටයුතු කළා චීනය පොහොර අපනයනය කිරීම නතර කළා. යුක්රේනය යුද්ධයට මැදි වෙලා වෙනත් අර්බුදයකට මුහුණ පෑවා. අසරණ වුනේ ලංකාවේ ගොවීන්.
-
ප්‍රශ්නය – නමුත් පොහොර සමාගම් පෙර වසරවලදී වගාවන් නැති කාලවල දී පවා පොහොර ආනයනය කරමින් රට තුළ පොහොර සංචිත රඳවා ගත්තා. මෙවර එවැන්නක් සිදුවූයේ නැද්ද?
පිළිතුර – 2021 අප්‍රේල් රසායනික පොහොර තහනම ඇති කළ පසුව සම්පූර්ණයෙන්ම පොහොර සමාගම් පොහොර ගෙන්වීම නතර කළා. මේ අර්බුදය ආරම්භ වූයේ එතැනින්.
අනෙක් ප්‍රධානම කාරණය තමයි මේ රටේ පොහොර ගෙන්වීමේ රටාවක් තිබුණා.
අපේ පොහොර නිෂ්පාදනය කරන සමාගම් වල පොහොර මිල උච්චාවචනය වෙනවා. ලංකාවේ පොහොර පිළිබඳ විද්වතුන් සමාගම් ප්‍රධානීන් මේ රිදම් එක හරියට අවබෝධ කරගෙන හිටියා. ඒ අනුව ලෝකයේ පොහොර මිල අඩුවන කාලවලදී ලංකාවට පොහොර ආනයනය කිරීමට තරම් සූක්ෂම වුණා. එවිට ගොවීන්ට අඩු මිලට පොහොර ලබාදිය හැකියි. ලංකාවේ වගාව ආරක්ෂා කර ගැනීමේ අරමුණින් තමයි එවැනි දේවල් සිදුවූයේ.
නමුත් මේ වන විට ඒ රටාව මුළුමනින්ම බිඳ වැටිලා
ඉකුත් නොවැම්බරයේ පොහොර තහනම ඉවත් කළ මොහොතේ පොහොර ආනයනය සඳහා අත තබන විට ලෝකයේ පොහොර සමාගම් වල මිල ඉතා ඉහළ තැනකයි තිබුණෙ. ඒ වෙලාවේ පොහොර ආනයනය නොකර බැරි වුණා. එතැන් සිට පොහොර මිල ඉහළ යමින් පොහොර ගෙන්වීම අවම වෙමින් පොහොර ප්‍රශ්නය විවිධ ස්වරූපයෙන් මතුවෙන්න පටන් ගත්තා. අදත් මේ සිද්ධ වෙලා තියෙන්නේ ඒවායේ ප්‍රතිඵල තමයි.
-
ප්‍රශ්නය – මෙයට සරල විසඳුමක් ඇත්තේම නැද්ද?
පිළිතුර – සරල විසඳුමක් නම් ඇත්තේ නැහැ මොකද මේ වන විට යල කන්නේ කෝච්චියත් ගිහින්. අඩුම මහ කන්නයේ ඒ කියන්නේ 2023 ජනවාරි අප්‍රේල් වී අස්වැන්න රැකගන්න වත් දැන් ඉඳම්ම පැහැදිලි සැලසුමක් සකස් කර ගත යුතුයි.