දිනසේන රතුගමගේ-
මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම අත්‍යවශ්‍ය කාරණයක් වූවත් කොරෝනා වසංගතය පිළිබදව නිරන්තරයෙන්ම සිහියේ තබා ගෙන ඡන්දය ප්‍රකාශ කරන ලෙස යාපනය රදගුරු ජස්ටින් ඥානප්‍රගාසම් හිමිපාණෝ අද (2) නිවේදනයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලීමක් කොට තිබේ.
මැතිවරණයකදී පවත්නා මැතිවරණ නීති රීති වලට අවනත වන්නා සේම සෞඛ්‍ය නිලධාරීන් විසින් නිර්දේශ කොට ඇති මුඛ ආවරණ භාවිත කිරීම මීටරයක සමාජ දුරස්ථභාවය තබා ගැනීම අත් සේදීම තමන් විසින්ම පෑනක් රැගෙන යාම වැනි දේ කෙරෙහි ඡන්දදායකයින් ඔවුන්ගේ වධානය යොමු කළ යුතුව ඇතැයිද රදගුරු හිමිපාණෝ ප්‍රකාශ කරති.
මහමැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට දක්වන උනන්දුවට සමාන උනන්දුවක් කොරෝනා තර්ජනයෙන් ආරක්ෂාවීමටද යෙදිය යුතු බව උන් වහන්සේ සිය නිවේදනය මගින් දක්වා ඇති අතර කිසිදු අයෙකු මේ අවස්ථාවේදී ඡන්ද උමතුවකින් පෙළීමෙන් වැළකිය යුතු බවටද උපදෙස් දී ඇත.
යාපනය රදගුරු හිමිපාණෝ සිය නිවේදනය අවසන් කොට ඇත්තේ උතුරේ බහුතරයක් වූ දෙමළ ජනතාවගේ අපේක්ෂාවන්ට ගැලපෙන හා එම අපේක්ෂාවන් මුදුන්පත් කර ගැනීමට ශක්තිය ඇති දේශපාලන රටාවක් නිර්මාණය වීමට හැකි වන සේ ඉතා යහපත් මැතිවරණ ප්‍රතිපලයක් ලැබේවායි ආශිර්වාද කරමිනි.