අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින සළිඳු මල්ෂික ගුණරත්න හෙවත් ‘කුඩු සළිඳු’ නමැත්තාගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා ඔහුගේ මව විසින් ගොනුකර ඇති පෙත්සමට අදාළව සීමිත විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා අප්‍රේල් මස 04 දා තෙක් නීතිපතිවරයාට කල් ලබාදීමට අභියාචනාධිකරණය අද (20) තීරණය කළේය..
අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම කැඳවනු ලැබීය
කුඩු සළිඳු හෙවත් සලිඳු මල්ෂික ගුණරත්න පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසුව ඔහුගේ ජීවිතයට හානියක් සිදුවීමට ඇති ඉඩකඩ වළකන නියෝගයක් නිකුත් කරන ලෙස මෙන් ඔහුගේ මව විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කරනු ලැබුවේ පසුගිය 14 දා ය.
පෙත්සම්කාරිය පවසන්නේ 26 හැවිරිදි තම පුත්‍රයාට තමා දන්නා තරමින් අධිකරණ කිහිපයක අපරාධ නඩු හයකට අදාළව සැකකරුවෙකු ලෙස හෝ අධිචෝදනා ලබා ඇති බවය.
මෙලෙස අත්අඩංගුවට පත්ව සිටින පුද්ගලයන්ගේ මරණ සිදුවීම ශ්‍රී ලංකාවේ සාමාන්‍ය සිදුවීමක් බව කියන ඇය ඔවුන්ගේ ජීවිතවලට සිදුවිය හැකි ආසන්න අනතුර සම්බන්ධයෙන් එම පුද්ගලයින්ගේ පවුලේ අය සහ නීතිඥයින් විසින් නිශ්චිත අනතුරු ඇඟවීම් නොතකා ස්ථානගත කිරීම සිදුවන බවත් ඇය මෙම පෙත්සමින් පෙන්වා දී තිබුණාය.
එහිදී ඇය තවදුරටත් සිය පෙත්සම මඟින් පෙන්වා දී ඇත්තේ මාකඳුරේ මධුෂ් ඝාතනය කිරීමට පෙර ඔහුගේ බිරිය ඒ බව මානව හිමිකම් කොමිසමට ලිඛිතව දන්වා ඇති බව තමන් දන්නා බවය..
මෙවැනි පසුබිමක් මත තම පුත්‍රයාටද මරණය සිදුවිය හැකි බැවින් ඔහුගේ ජීවිතාරක්ෂාව සලසන ලෙසට නියෝගයක් නිකත් කරන ලෙස ඇය අධිකරණයෙන් ඉලලීමක් කර ඇත. ඇය පෙත්සම මගින් ඉල්ලා සිටින්නේ බන්ධනාගාරයෙන් පිටතට යන අවස්ථාවල දී සිය පුත්‍රයාට අත්වලට සහ පා වලට විලංගු යොදා රැගෙන යන ලෙසය.
තම පුතාගේ ජීවිතය ආරක්ෂා කිරීමට වහා මැදිහත් වන ලෙස ඉල්ලා ඇය දිවුරුම් ප්‍රකාශයක් සමඟ 2023 මාර්තු 13 වැනි දින මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබේ.